ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සරණාගතභාවය සඳහා යොමු කෙරුණු ඉහළම අයදුම්පත් ප්‍රාමාණය මේ වන විට වාර්තා වන බව එක්සත් ජාතීන්ගේ නවතම දත්ත පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නීත්‍යානුකූල වීසා සහිතව ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා අයදුම්කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය සඳහා යොමු කෙරුණු අයදුම්පත් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වූ බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අයදුම් කරන "plane people"
2018 වසර අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් අයදුම්පත් 60,000ක් පමණ යොමු කර ඇති බව වාර්තා වේ.
2016 වන විට එම ප්‍රාමාණය 30,000 ක් වූ බවද සඳහන්.
සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කරන මෙම නවතම දත්ත ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton සහ කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Kristina Keneally අතර පවතින මතගැටුම් උත්සන්න කිරීමට හේතුවූ බවද වාර්තා වේ.
විශේෂයෙන්ම "plane people" හෙවත් නීත්‍යානුකූල ඔස්ට්‍රේලියානු වීසාවක් සහිතව ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් පසුව ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා සරණාගත වීසා අයදුම් කිරීමේ ඉතා ඉහළ ප්‍රවණතාවක් පසුගිය සමයේ සිට දක්නට ලැබේ.
ඒ ආකාරයෙන් පසුගිය සිව් වසර තුළ පුද්ගලයින් 81,000 ක් ක්‍රියා කර ඇති බව The Age පුවත්පත වාර්තා කරයි.
දළ වශයෙන් එම අයදුම්පත් වලින් 90% ක්ම ප්‍රතික්ෂේප වූ බව වාර්තා වේ.
නමුත් එම අයදුම්පත් සලකාබැලීම සඳහා වසර කිහිපයක් ගතවන බැවින් එම කාලය තුළ ඔවුන්ට bridging visa හිමිවන අතර ඒ හරහා ඔස්ට්‍රේලියාවේ නීත්‍යනුකූලව රැකියා කිරීමට ඔවුන් හට අවසර ලැබේ.
2014 වසර වන විට ඔස්ට්‍රේලියාවේ bridging visa හිමි පුද්ගලයින් 107,000 ක් වූ බවත් එය 2019 මේ වන විට 230,000 ක් ලෙසට ඉහළ ගොස් ඇති බවත් දැක්වෙයි.

මිනිස් ජාවාරම්කරුවන් වෙනස් මගක් සොයාගනී
නීත්‍යානුකූල ඔස්ට්‍රේලියානු වීසාවක් සමග ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් පසුව ඔස්ට්‍රේලියානු සරණාගතභාවය අයදුම් කිරීම වැඩිවී ඇති ආකාරයෙන් පෙනී යන්නේ මිනිස් ජාවාරම්කරුවන් නීති විරෝධී සංක්‍රමණිකයින්ව වෙනත් ආකාරයකින් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට කටයුතු කිරීමක් බව කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Kristina Keneally පවසයි.
සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කරන මෙම නවතම දත්ත වලට අනුව මෙම සරණාගත අයදුම්පත් ප්‍රමාණය අතිශය ඉහළ ගොස් ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton යටතේ බවද ඇය පෙන්වා දෙයි.
මෙවැනි පසුබිමක පසුගිය අය වැයේදී ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණය සඳහාවූ අයවැයෙන් ඩොලර් මිලියන 300 ක් කප්පාදු කිරීමට ලිබරල් සන්ධාන රජය කටයුතු කළ බව සෙනට් සභික Kristina Keneally චෝදනා කරයි.

අයදුම්පත් වැඩිවූ ප්‍රමාණයට සරණාගතයින් වැඩිවී නැහැ
සරණාගතභාවය සඳහා වූ අයදුම්පත් ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතුණද සරණාගතයින් ප්‍රමාණය ඉහළ යාමක් ඉන් අදහස් නොකෙරෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පවසයි.
දැනට පවතින මට්ටමේ (6000) සරණාගත කෝටාව ඒ ආකාරයෙන්ම වත්මන් ලිබරල් සන්ධාන රජය පවත්වාගෙන යන බවත් කම්කරු පක්ෂය යෝජනා කළා මෙන් වාර්ෂික සරණාගත කෝටාව 71% කින් වැඩි කිරීමට තම රජය දහස් නොකරන බවටත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේනමුත් පදනම් විරහිත, සාවද්‍ය කරුණු රැගත් සරණාගත අයදුම්පත් හඳුනාගෙන ඒ පිළිබඳ නිවැරදිව කටයුතු කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යුහුසුළුව කටුයුතු කරන බව ද ඔහු පැවසීය.


