KEY POINTS:
- ග්‍රීන්ස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට ඉල්ලුම් කර තිබේ.
- නවසීලන්තයේ ද එවැනිම පියවරක් ක්‍රියාත්මක වේ.
- දැනට අවුරුදු 16 ට වැඩි අයට ඡන්දය දිය හැකි රටවල් 13ක් ඇත.
මේ වසරේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව රැස්වීමත් සමඟ 16 හැවිරිදි දරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමේ සැලසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.
ග්‍රීන්ස් පක්ෂය විසින් ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස් සීමාව අඩු කිරීමට මෙසේ ඉල්ලීම් කර ඇති අතර , එමගින් පළමු වරට වයස අවුරුදු 16 සහ 17 වයසේ පසුවන දරුවන්ට එළඹෙන ෆෙඩරල් මැතිවරණවලට සහභාගී වීමට ඉඩ සැලසේ.
ඔස්ට්‍රේලියානු තරුණයන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට අසමානුපාතික බලපෑම් ඇති කරන ප්‍රශ්න පිළිබඳව අදහස් දැක්වීමට ඉඩ සැලසිය යුතු බව ග්‍රීන්ස් පක්ෂය පෙන්වා දෙයි.
මෙම සංකල්පය දැනටමත් විදෙස් රටවල උත්සාහ කර ඇති නමුත් තවමත් එය මතභේදාත්මක කාරණයක්ව පවතී.
ඡන්දය දෙන අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමෙන් යෝජනා කරන්නේ කුමක්ද?

වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන් ප්‍රාදේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳී සිටී.
නමුත් ග්‍රීන්ස් පක්ෂයේ මන්ත්‍රී ස්ටීවන් බේට්ස් ෆෙඩරල් මැතිවරණවල ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට පනතක් ඉදිරිපත් කර තිබේ.
සුදුසුකම් ලත් සියලුම ඡන්දදායකයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීමට ග්‍රීන්ස් පාක්ෂය යෝජනා කරයි.
දැනට පවතින ඡන්දෙ දීමේ ක්‍රියාවලියට අනුව වයස අවුරුදු 18 ට වැඩි අය ඡන්දය දීමෙන් වැලකී සිටියොත් ඔවුන් දඩ මුදලකට යටත් වේ. නමුත් මෙම නව යෝජනාවට අනුව අවුරුදු 18ට අඩු පුද්ගලයින් එම දඩ මුදලින් නිදහස් කිරීමට ද ග්‍රීන්ස් පක්ෂය පක්ෂය ඉල්ලා සිටී.
මෙම පනත පුද්ගලික මන්ත්‍රී පනතක් වන අතර එයට ප්‍රධාන පක්ෂවල සහාය නොලැබේ නම් බොහෝ දුරට එය සංකේතාත්මක පනතක් පමණක් වනු ඇති.
දේශපාලකයන් මේ ගැන දක්වන අදහස කුමක්ද ?
තරුණයින් තීරණ ගැනීමෙන් බැහැර කර ඇති නමුත් ඔවුන්ට දේශගුණික අර්බුදය, නිවාස දැරිය හැකි මිල සහ අසමානතාවය යන බරපතලය තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව බේට්ස් මහතා අවධාරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ඡන්ද දායකත්ව සහභාගීත්වය අඛණ්ඩව පහත වැටෙමින් තිබේ. අනිවාර්ය ඡන්දය හඳුන්වා දීමෙන් පසු, පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී අඩුම ඡන්ද දායකත්ව සහභාගීත්ව මට්ටමක් දුටු බව බේට්ස් මහතා පවසයි.
අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, අපගේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම සහ තරුණයින්ට ඔවුන්ගේ අනාගතය ගැන අදහස් දැක්වීමට ඉඩ දීම ඉතා වැදගත් වන බව ඔහු පසුගිය සඳුදා වාර්තාකරුවන්ට පැවසීය.

මෙම අදහස සඳහා තමන් විවෘත බව ලේබර් පක්ෂය විසින් මීට පෙර පවසා තිබුණද ඔවුන් මේ පිළිබඳ ව අදහස් දැක්වීම සඳහා SBS ප්‍රවෘත්ති සේවය කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නැත.
මෙම පනත දැක නැති නමුත් ඒ පිළිබඳව විශේෂයෙන් උද්යෝගිමත් නොවූ බව ලිබරල් ඉදිරිපෙළ මන්ත්‍රී ජේන් හියුම් කියා සිටී.
එය නිසැකවම ඔවුන්ගේ ප්‍රමුඛතාවක් නොවන බව ඇය සඳුදා දිනයේදී වාර්තාකරුවන්ට පැවසුවාය.
මේ පිළිබඳව විශේෂඥ අදහස කුමක්ද ?
16-හැවිරිදි දරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පරිණතභාවය සහ අභිප්‍රේරණය නොමැති බවට ඇතැම් විචාරකයින් තර්ක කරයි.
ඇතැමුන් මේ පියවර සම්බන්ධව ඇති යටිතල පහසුකම් පිළිබඳව අවධානය යොමු කරයි.
ඡන්ද හිමි නාමලේඛනය එතරම් දරුණු ලෙස පුළුල් කිරීමට ඔවුන්ට සම්පත් නොමැති බවත්, 16-හැවිරිදි ළමුන් ඡන්දය සඳහා ලියාපදිංචි නොවීම අපරාධ වරදක් විය හැකි බවට බිය විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව අනතුරු ඇඟවයි.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනිවාර්ය ලියාපදිංචි කිරීමෙන් පැන නගින සැලකිය යුතු සෘණාත්මක ගැටළු වලට එරෙහිව මෙම පියවර සමතුලිත විය යුතු වන බව ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි හි මැතිවරණ කොමසාරිස් ඩේමියන් කැන්ට්වෙල් මීට වසරකට පෙර ප්‍රකාශ කර තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අඩු කිරීම, තරුණයින්ට තමන් ජීවත් වන සමාජය හැඩගැස්වීමට සෘජුවම දායක වීමට ලැබෙන හොඳ මාර්ගයක් බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ සහකාර මහාචාර්යවරයෙකු සහ තරුණ යුක්ති ජාලයේ අධ්‍යක්ෂ ෆෙයිත් ගෝර්ඩන් පවසයි.

මෙම පියවර මගින් දේශපාලඥයින් තරුණයින් හා ඔවුන්ගේ අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට වැඩි නැඹුරුවක් ඇති කරන බව ද ඇය පවසයි.
සමාජයේ වැඩිහිටි පුද්ගලයින් ගන්නා තීරණ වල ප්‍රතිවිපාකවලින් තරුණයින්ට ඉතිරි වනු ඇති බව පවතින දත්ත මගින් පෙනී යයි.
දැනට බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හා ටෙරිටරි වල නීති වලට අනුව 16-හැවිරිදි දරුවන්ට ලිංගිකත්වයට කැමැත්ත දීමට, බදු ගෙවීමට සහ පාසල් හැර යාමට හැකියාව තිබේ.
අප ඒ වයසේ තරුණයින්ගෙන් බොහෝ දේ අපේක්ෂා කරන නමුත් එම වයස දැන් සිටින වැඩිහිටියන්ට හිතුවක්කාර වයසක් ලෙස පෙනේ. වයස් ගත වී තරුණයින් ද වැඩිහිටියන් වූ විට ඔවුන්ද අහේතුක තීරණ ගනු ලබන බව ආචාර්ය ගෝඩ්න් පෙන්වා දේ.
තරුණයන් සමඟ වැඩ කටයුතු කරන පුද්ගලයකු ලෙස තමා මෙම වෙනස වෙනුවෙන් පෙනී සිටින බව ද ආචාර්ය ගෝඩ්න් පවසයි.
ඡන්දය දෙන අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම සම්බන්ධව විදෙස් රටවල පවතින තත්ත්වය

රටවල් 13ක් අඩුම තරමින් අවුරුදු 16 සීමාවේ ළමයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දී ඇති නමුත් ඔවුන් ඒ සඳහා විවිධ වූ ආකෘති ගණනාවක් භාවිතා කරයි.
පසු ගිය නොවැම්බර් මාසයේදී නවසීලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් ඡන්දය ප්‍රකාශ කළ හැකි වයස් සීමාව වන අවුරුදු 18 සීමාවේ තරුණයින්ගේ මානව හිමිකම් කඩ වී ඇති බව සොයා ගෙන තිබේ.
එම සුවිශේෂී නඩු තීන්දුවෙන් පසුව නවසීලන්ත රජය සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස් සීමාව අවුරුදු 16 දක්වා පහත හෙලීමට ඉල්ලිම් කරමින් සිටී.
නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ප්‍රසිද්ධියේ සහාය දක්වන මෙම ඉල්ලීම සම්බන්ධයෙන පාර්ලිමේන්තු විවාදයක් සදහා බල කෙරෙන නමුත් තවමත් එය නීතියක් බවට පත් වන බවට සහතිකයක් නැත.
ඔස්ට්‍රියාව දැනටමත් 16 හැවිරිදි ළමයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දී ඇති අතර ජර්මනිය දැනට එම වයස් කාණ්ඩයට යුරෝපා සංගමයේ මැතිවරණවලට සහභාගී වීමට ඉඩ සලසන යෝජනාවක් ක්‍රියාත්මක කරයි.
බ්‍රසීලයේ සහ ආර්ජන්ටිනාවේ, වයස අවුරුදු 16 සීමාවේ දරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට විකල්පයක් ඇති අතර එය ඔවුන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු අනිවාර්ය වේ.
එක්සත් රාජධානිය, එංගලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්ස් නියෝජිතයන් ඇතුළු වෙස්ට්මිනිස්ටර් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට යම් පුද්ගලයෙකුට වයස අවුරුදු 18ක් විය යුතුය.
නමුත් ස්කොට්ලන්තයේ සහ වේල්ස් හි ඔවුන්ගේම පාර්ලිමේන්තු සඳහා මැතිවරණ පවත්වනු ලබන අතර එහිදී 16 හැවිරිදි තරුණයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවේ
රැකියාවක් කරන්නේ නම්,පමණක් බොස්නියාවේ 16 ට වැඩි දරුවන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

