තම උපන් රටේ සිට වෙනත් විදේශ රටකට පැමිණෙන්නන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස තනිකම හෙවත් හුදකලාව හැඳින්වේ.
තම සමීපතමයන්ගෙන් මිදී දුරු රටක වාසය කිරීම මුල් කාලයේදී සෑම දෙනෙකුටම පාහේ අසීරු බවක් ගෙනදෙයි.
එම හුදකලාවම, තනිකම Home Sick ලෙස සමාජයේ ප්‍රචලිතය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
තම උපන් රටින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් හටද මෙය එලෙසම බලපාන කරුණකි.
ඊට අමතරව ඔවුන්ට තවත් මූලික බාධක/ගැටළු කිහිපයකට මුල් අවධියේදී මුහුණ දීමට සිදුවන බව SBS සිංහල සේවය සිදුකළ අනාවරණයක දී හෙළි විය.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් හට ඇති මූලික බාධාවන්
දුරු රටක හුදකලා බවට ප්‍රධාන හේතු ලෙස එරටේ භාෂාව නොදැනීම, සංස්කෘතික වෙනස, පවුලෙන් සහ හිත මිතුරන්ගෙන් වෙන්වී සිටීම යන සාධක දැක්විය හැකිය.
ශ්‍රී ලංකාව වැනි ඉංග්‍රීසි නොවන පසුබිමකින් පැවතෙන රටකින් ඔස්ට්‍රේලියාවට පැමිණි විට ඇතැම් සංක්‍රමණිකයින් හට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවය.
මෙනිසා ඇතැම් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු සමාජයත් සමග මිශ්‍ර වීමට විශාල මැලි කමක් දක්වයි.
මෙම භාෂා බාධකය හේතුවෙන් ඔවුන් බොහෝ විට තම වාසස්ථානයේම රැදී සිටීමට වැඩි කැමැත්තක් දක්වයි.
නමුත් එම අන්දමින් ජීවත් වීමෙන් ඔබට ඔස්ට්‍රේලියානු සමාජය නිවැරදි ලෙස අවබෝධ කරගැනීමටත් එය සමග මුසු වීමටත් අපහසුය.
ටිරෝන් ප්‍රනාන්දු යනු 2007 වසරේ ජාත්‍යන්තර සිසුවෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙකි. ඔහුගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් සිංහල මූලික කරගෙන ලබා තිබූ අතර ඔහුට ඉංග්‍රීසි පිළිබඳ තිබුණේ සාමාන්‍ය දැනීමකි. මෙල්බර්න් නුවර TAFE විද්‍යාලයක පරිගණක ඩිප්ලෝමාවකට පැමිණි ටිරෝන් ගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අඩු බව හේතුවෙන් ඔහුව මූලික ඉංග්‍රීසි පාඨ මාලාවකට (Eli Course) සිය විද්‍යාලය විසින් යොමු කළේය.
පළමු සති තුන තමන් ඉතා බයාදු අයුරින් විද්‍යාලයට ගිය බවත් එහිදී විද්‍යාලයේ අනෙක් සිසුන් සමග වැඩිය කතාබස් නොකළ බවත් ටිරෝන් අප සමග පැවසුවේය.
තමන් සැමවිටම බලා සිටියේ ශ්‍රී ලාංකික තවත් සිසුවෙකු තමන්ගේ පන්තියට පැමිණෙන තුරු බව ඔහු පැහැදිලි කළේය.
නමුත් එම පන්තියේ සිටි එකම ශ්‍රී ලාංකික සිසුවා වූයේ ඔහු පමණකි. එනිසා ඔහට දැඩි හුදකලා බවකට මුහුණ දීමට සිදු විය.
නමුත් තමන් මෙන්ම ඉංග්‍රීසි නොවන විවිධ රටවලින් පැමිණි සිසුන් මිතුරන් ඇතිකරගෙන ඉංග්‍රීසි භාෂාව බාධාවක් නොකරගනිමින් සාර්ථකව අධ්‍යාපන කටයුතු කරන බවත් ඔවුන් ක්‍රමිකව ඔස්ට්‍රේලියානු සමාජය සමග මිශ්‍ර වන බවත් තමන්ට පෙනී ගිය බව ටිරෝන් SBS සිංහල සේවයට පැවසුවේය.
ඒ අනුව තම ගුරුවරුන්ගේ ද සහය ඇතිව තමන් එම අභියෝගය ජයගත් බවත් අනතුරුව ඔස්ට්‍රේලියාව තමන්ගේම රට යන හැගීම තමන්ට පැමිණි බවත් ඔහු පැවසුවේය.
"ඉංග්‍රීසි වැරදුනාම ලංකාවේ ගොඩක් කට්ටිය හිනාවෙනවා. ඔස්ට්‍රේලියාවේ කට්ටියත් මට ඉංග්‍රීසි වැරදුනොත් හිනාවෙයි කියන බය මගේ හිතේ තිබුණා. එනිසා මුල් කාලයේ මම වැඩිය කාත් එක්කවත් කතාවට ගියේ නැහැ. නමුත් මට තේරුණා, මෙහෙ ඉංග්‍රීසි වැරදුනා කියල කවුරුත් කාටවත් හිනවෙන්නේවත්, විහිළු කරන්නේවත් නැහැ කියල. එනිසාම මගේ ආත්ම ශක්තිය වැඩිවුණා. මම වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්තා. එනිසාම මට අලුත් යාළුවො හමුවුණා. මගේ තනිකම නැතිවෙලා ගියා" යනුවෙන් ටිරෝන් අප සමග පැවසුවේය.

ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි
ලෝකයේ බොහෝ රටවල ඉංග්‍රීසි භාෂාව භාවිත වන නමුත් ඒ සෑම ඉංග්‍රීසි භාෂාවකටම සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි භාෂාව වෙනස්ය.
ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි භාෂාවට වෙන්වූ වචන පැවතීමත් ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි ඌරුව අනෙකුත් ඉංග්‍රීසි ඌරුවන්ට වඩා හාත්පසින්ම වෙනස් වීමත් ඊට ප්‍රධාන හේතුවේ.
මෙයද ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට මුල් අවධියේ විශාල බාධාවක් මෙන්ම අභියෝගයකි.
ශ්‍රී ලංකාවේ සිට පැමිණ මේ වන විට සිඩ්නි නුවර වාසය කරන චම්පිකා සිරිවර්ධන ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි පිළිබද තම අත්දැකීම SBS සිංහල සේවයට පැවසුවේ මේ අයුරිනි.
"මම නිපුණතා සංක්‍රමණිකයෙකු (skilled migrant) ලෙසයි ඔස්ට්‍රේලියාවට පැමිණියේ. මගේ ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳ මට්ටමක තිබුණා. මම ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා සති තුනක් යනකොට මම සේවය කළ IT ක්ෂේත්‍රයෙන්ම මට පූර්ණ කාලීන රැකියාවක් ලැබුණා. මම Software Developer කෙනෙක් නිසා මට වැඩ කරන්න වුණේ Software Developer team එකක් සමග. එහි කාන්තා පිරිමි 15 දෙනෙකු පමණ සිටියා. රාජකාරී මෙන්ම විවේක වෙලාවලදී ඔවුන් කතා කරන ඇතැම් වචන මට එතරම් හුරු වුණේ නැහැ. ඒවා ඉංග්‍රීසි ද කියල මට හිතුන වාර අනන්තයි. ඒවගේම ඔවුන්ගේ ඉංග්‍රීසි ඌරුවත් මට මුල් කාලයේ අපහසු වුණා. නමුත් මම ඔවුන් සමග සමීපව කටයුතු කළ නිසා මට ටික කලකින්ම එම අභියෝග ජයගන්නට හැකිවුණා."
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම නව සංක්‍රමණිකයෙකුටම චම්පිකා පණිවිඩයක් ද නිකුත් කර සිටියාය.
"ඕස්ට්‍රේලියානුවන් හරිම සරළ මිනිස්සු, ඔවුන් හැමවෙලේම සැහැල්ලුවෙන් සිටින උදවිය. එහිදී ඔවුන්ගේ ඉංග්‍රීසි භෂාවත් ඔවුන්ට අවේනික විදියට ඔවුන් භාවිත කරනවා. එනිසා එම ඌරුව සහ එම වචන සමග හුරුවීමට නම් සෑම නව සංක්‍රමණිකයෙකුම බිය නැතිව ඔස්ට්‍රේලියානු සමාජය සමග මුසු විය යුතුයි."
සිඩ්නි නුවර වාසය කරන Nassim යනු මේ වසරේ මුල බාගයේදී ඉරාකයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙක්. ඔහු ඉංග්‍රීසි භාෂාව ඉගනීමට මහත්වූ ආශාවක් දක්වන නමුත් ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි ඌරුව සහ ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි වලටම අදාළ වූ වචන ග්‍රහනය කරගැනීම ඔහුට මහත්වූ ගැටළුවක් වී තිබේ.
එම වචන තේරුම් ගැනීමට තමන් සැමවිටම ශබ්ද කෝෂයක් රැගෙන යන බවත් එනිසා එම වචන වල තේරුම දැනගැනීමට තමන් හට දැන් හැකිවී ඇති බවත් ඔහු පවසයි.

ඔස්ට්‍රේලියානු සම්ප්‍රදාය
ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට මෙන්ම ස්ථාපිත වීමට ඔස්ට්‍රේලියානු සම්ප්‍රදාය සමග සම්බන්ධ වීම ද ඉතා වදගත්.
ඔබට ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමට අවශ්‍යනම් ඕස්ට්‍රේලියානුවන් කතා කරන්නේ කොහොමද, ඔවුන් කතා කරන වචන, ඔවුන් එකතුවෙන්නේ කොහොමද, කන බොන විදිය යනාදී සියලු දේ ඔබ ඉගෙන ගත යුතු බව Nassim පවසයි.
සෑම විටම තමන්ගේ Comfort Zone හෙවත් සුවපහසු කලාපයෙන් මිදීමට බොහෝ සංක්‍රමණිකයින් මැලිකමක් දක්වයි.
එනිසාම බොහෝ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පදිංචි ප්‍රදේශ වලත් රැකියා ස්ථාන වලත් අධ්‍යාපනය ලබන ස්ථාන වලත් තවත් ශ්‍රී ලාංකිකයින් සෙවීම පුරුද්දකි.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සමාජයත් සමග මුසුවන අයුරින්ම ඔබ ඔස්ට්‍රේලියානු සංස්කෘතිය පිළිබඳව ද දැනගත යුතුය. ඒ සඳහා ඇති කදිම මාර්ගය වන්නේ ඔබ ඔස්ට්‍රේලියානු යහළුවන් ඇතිකරගැනීමය.
තිසර ගෝමස් යනු බ්‍රිස්බේන් නුවර වාසය කරන ශ්‍රී ලාංකික තරුණයෙක්. ඔහු තමන්ගේම ව්‍යාපාරයක් බ්‍රිස්බේන් නුවර පවත්වාගෙන යයි.
ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සමාජය කෙලෙසද යන්න තමන්ට මුල් කාලයේදී එතරම් දැනීමක් නොතිබූ නමුත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික මිතුරන් ක්‍රමිකව ආශ්‍රය කිරීමට පටන් ගැනීමත් සමග තමන්ට එම සම්ප්‍රදයාන් සහ සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිවූ බව තිසර අප වෙත පැවසුවේය.
ඔස්ට්‍රේලියනුවන් සිතන පතන ආකාරය සහ ඔවුන්ගේ ආකල්ප එහිදී මනා ලෙස වටහාගැනීමට තමන්ට හැකිවූ බවත් එය තම ව්‍යාපාර සාර්ථක කරගැනීමට ඉතා ප්‍රයෝජනවත් වූ බවත් ඔහු පැහැදිලි කළේය.


