කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නවතම තීරණ කිහිපයක් ගෙන තිබේ.
ඒ අනුව විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14 ක කාලයක් අනිවාර්යයෙන් ස්වයං නිරෝධායනයක නිරත විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙරේදා (15/03) ප්‍රකාශයට පත් කළේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම නීති උල්ලංඝනය කරන පිරිසට ඉහළ දඩ මුදල් මෙන්ම සිර දඬුවම්ද පැනවීමට නීතිමය හැකියාවක් පවතී.
ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔබ කුමක් කළ යුතුද?
විදේශ රටක සිට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළකින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු තමන්ගේ පුද්ගලික වාහනයකින් හැකි තරම් ඉක්මණින් තම වාසස්ථානය කරා යාම ඉතා වැදගත් වේ.
අදාළ පුද්ගලයින් ඔස්ට්‍රේලියානු සමාජය සමග අවම ගැටීමකට මුහුණ පෑම ඊට හේතුව වේ.
තමන් නිරෝගී යයි සිතන සහ කොරෝනා වයිරසය සම්බන්ධ අවදානම් රටක් හෝ කලාපයක් හරහා ගමන් කර නොමැති පුද්ගලයින් මුව ආවරණ (mask) පැළඳීම අනවශ්‍ය වන නමුත් කොරෝනා වයිරසය ඇති බවට සැක සිතන හෝ කොරෝනා අවදානම් රටක් කලාපයක් හරහා ගමන් කර ඇතිනම් මුව ආවරණ පැළඳීම සුදුසු වේ.
එලෙස විදේශයක සිට පැමිණි පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවා හා කුලී රථ වල ගමන් බිමන් යාම අවම කර සිටින ලෙසද රජය ඉල්ලා සිටියි.
ඒවා භාවිතා කිරීමට යම් අවස්ථාවකදී සිදු වුවහොත් මුව ආවරණය කරගත යුතු අතර කහින විට හෝ කිවිසුම් හරින විට වැලිමිට මුඛය සමීපයට ගෙන එම කටයුතු නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුව සිදුකරන ලෙස ද රජය ඉල්ලා සිටියි.
අදාළ දින 14 ක කාලය තුළ බාහිර පුද්ගල සබඳතා නතර කිරීමද කළ යුතුය.
ස්වයං නිරෝධායනයක නිරතවන පුද්ගලයෙකු පොදු ස්ථාන වලට යාමෙන් අනිවාර්යෙන් වැළකිය යුතු වේ.
ඒ අනුව අදාළ පුද්ගලයින් හට රැකියා ස්ථානයට යාම, පාසලට යාම, විශ්ව විද්‍යාලයට යාම, ළමා සුරැකුම් මධ්‍යස්ථානයට යාම තහනම් වේ.
ඔවුන්ට තම නිවසේ සිටින අනික් පුද්ගලයින් සමග පමණක් ගණුදෙනු කළ හැකිය.
ස්වයං නිරෝධායනයක නිරතවන පුද්ගලයෙකු සමග සිටින පවුලේ උදවිය ස්වයං නිරෝධායනයක නිරත වීමට අවශ්‍ය නොවන නමුත් යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් එම පියවර අනුගමනය කළ යුතු වේ.

ස්වයං නිරෝධායනය උල්ලංඝනය කළහොත් ලැබෙන දඬුවම්
ස්වයං නිරෝධායනය උල්ලංඝනය කරන පුද්ගලයින්ට $50,000 දක්වා අධික දඩ මුදලක් පැනවිය හැකි අතර ප්‍රාන්ත රජයේ නීති වලට අනුව සිර දඬුවම් පවා නියම කළ හැකිය.
මහජන සෞඛ්‍ය නීතිය යටතේ ඇතැම් ප්‍රාන්ත වලට දැනටමත් මෙම දඬුවම් පැනවිය හැකි අතර ක්වීන්ස්ලන්තය සහ දකුණු ඔස්ට්‍රේලියාව වැනි ප්‍රාන්ත ඒ සඳහා අලුතින් නීති සම්මත කරගෙන තිබේ.
ස්වයං නිරෝධායනය උල්ලංඝනය කළහොත් ලැබෙන දරුණුම දඩ මුදල වාර්තා වන්නේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙනි. එය $5,000 සිට $50,000 දක්වා වේ.
එම දඬුවම් නියම කර ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ බලපැවැත්වෙන මහජන සෞඛ්‍ය පිළිබඳ පනත සහ හදිසි ආපදා කළමනාකාරණය කිරීමේ පනත හරහාය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්වයං නිරෝධායනය උල්ලංඝනය කළහොත් $11,000 දක්වා දඩ මුදලකට හෝ සිරගත කිරීමකට හෝ මුහුණ දීමට සිදුවේ.
ඒ සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ප්‍රාන්ත හදිසි සේවා පනත හා මහජන සෞඛ්‍ය පිළිබඳ පනතට බලය ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම දඩ මුදල $19,826 දක්වා පැනවිය හැකිය.
මහජන සෞඛ්‍ය පිළිබඳ පනත යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ සති හතරක හදිසි තත්ත්වයක් ඊයේ (16 March) සිට ප්‍රකාශයට පත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews කටයුතු කළේය.

ක්වීන්ස්ලන්තයේ ස්වයං නිරෝධායනය උල්ලංඝනය කළහොත් $13,345 දක්වා දඩ මුදලක් පැනවිය හැකිය.
එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ එම දඩය $25,000 දක්වා වේ.
Northern Territory හි යම් පුද්ගලයෙකු ස්වයං නිරෝධායනය උල්ලංඝනය කළහොත් ඔහුට හෝ ඇයට මාස 6 ක් දක්වා වූ සිර දඬුවමකට යටත් වීමට සිදුවන බව Northern Territory හි ප්‍රධාන අමාත්‍ය Michael Gunner පවසයි.
ටස්මේනියා ප්‍රාන්තයේ මෙම දඩ මුදල $8,400 දක්වා වේ.

ස්වයං නිරෝධායනයක නිරතවන ඔබ නිවසින් පිටව යන බව බලධාරීන් දැනගන්නේ කෙසේද?
අදාළ පුද්ගලයින් තම වාසස්ථාන වලම රැදී සිටිනවාදැයි පරීක්ෂා කිරීමට පොලිස් පරීක්ෂාවන් සිදු කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
SBS සිංහල ගුවන් විදුලිය සතියේ දින 4 ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙ.ව 11 සිට 12 දක්වා
මේ අතර විදෙස් රටක සිට පැමිණ දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයක නිරත නොවී යම් පුද්ගලයෙකු රැකියාවට හෝ වෙනත් කටයුත්තකට පැමිණෙයි නම් ඔහු සිදුකරන්නේ නීති උල්ලංඝනය කිරීමක් බවත් එය බරපතල වැරද්දක් බවත් කියා දෙන ලෙස අදාළ පුද්ගලයාගේ රැකියා ස්ථානයේ සිටින පුද්ගලයන්ගෙන් හෝ අනෙක් මිතුරන්ගෙන් අගමැති මොරිසන් ඉල්ලා සිටියි.
එවැනි නීති කඩ කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරක් වෙතොත් තම රජයට දැනුම් දෙන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ස්වයං නිරෝධායනයක නිරතවන ඔබට ඔබගේ නිවස පිහිටි වත්තේ/ මිදුලේ සීමාව තෙක් යා හැකිය.
නමුත් තට්ටු නිවාස සංකීර්ණයක ස්වයං නිරෝධායනයක නිරතවන පුද්ගලයෙකු එම සංකීර්ණයේ shared spaces හෙවත් පොදු ස්ථාන වෙත යනවානම් මුව ආවරණයක් පැළඳිය යුතු වේ.
තවද ඔබට ඔබගේ සුරතල් සුනඛයා සමග ඇවිදීම කළ නොහැකිය. එනිසා සුනඛයින් සමග ඇවිදීම සිදු නොකර එම සතුන් එළියට රැගෙන යාම මිතුරන්ට හි නෑයින්ට බාරදෙන ලෙස සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.


