Key Points
- ඔස්ට්‍රේලියාවේ මාස හතරක කාලයක් පුරා පොලී අනුපාත ඉහළ දැමීම අත්හිටුවීමෙන් පසුව මෙසේ සියයට 0.25 කින් පොලී අනුපාත වැඩි කර තිබේ.
- උද්ධමනය එහි උච්චතම අවස්ථාව පසුකර ඇති නමුත් එය තවමත් ඉහළ මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපතිනි මිචෙල් බුලොක් පවසයි.
- මුදල් අනුපාතිකයේ සිදු වූ මෙම නවතම වැඩිවීම මගින් දැනටමත් ඉන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ගේ ජීවිතය වඩාත් දුෂ්කර වනු ඇතැයි ඔස්ට්‍රෙලියාවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසයි.
ඔස්ට්‍රේලියාවේ ඉහළ ගොස් ඇති උද්ධමනය පහත හෙලීමේ අරමුණින් බලාපොරොත්තු වූ
පරිදිම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් මෙවර සියයට දශම 2 5කින් පොලී අනුපාතය ඉහල දමා තිබේ. මේ හේතුවෙන් නිවාස ණය හිමියන් දැඩි පීඩවකට පත්ව ඇත.
මෙවර මධ්‍යම බැංකුව මගින් ඉහල දමා ඇති නිල මුදල් අනුපාතය සියයට 4.35 ක් වේ.
රොයිටර් මාධ්‍ය විසින් මත විමසුමට ලක් කරන ලද ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකු හතරට අයත් බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් Melbourne cup day දිනයේදී මෙම පොලී අනුපාත වැඩි වීම සිදු වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබීය.
ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් පසුගිය වසරේ ආරම්භ කරන ලද ආක්‍රමණශීලී වැඩපිළිවෙලෙහි බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය මාස 4 පුරා පොලී අනුපාතය 4.1 හි රඳවා තබා ගැනු ලැබීය.

පසුගිය මාසය පුරා නිකුත් කරන ලද ආර්ථික දත්ත මගින් , 2025 අගභාගය වන විට රටේ උද්ධමනය නැවත ඉලක්කයට ගෙන ඒම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ගෙන යන වැඩපිළිවෙළ මගින් හැකි වේද යන්න පිළිබඳව සැක පල කරනු ලැබීය.
උද්ධමනය එහි උච්චතම අවස්ථාව පසු කර ඇති නමුත් තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින බව මහ බැංකු මණ්ඩල රැස්වීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් , ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපතිනි මිචෙල් බුලොක් පැවසුවාය.
මීට මාස කිහිපයකට පෙර බලාපොරොත්තු වූවාට වඩා රටේ උද්ධමනය ස්ථීර බව ඔප්පු වෙමින් ඇතැයිද ඇය වැඩිදුරටත් පැවසීය.
පසු ගිය සැප්තැම්බර් කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේද,ී
අපේක්ෂිත ආර්ථික වර්ධනයට වඩා ශක්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කිරීම
ශ්‍රම වෙළඳපොලේ ඔරොත්තු දීමේ හැකියාව සහ නිවාස මිල ගණන් යළි පැවති අගයන්ට ළගා වීම යන සාධක හේතුවෙන් නොවැම්බර් මාසයේදී පොලී අනුපාත වැඩිකිරීමේ මෙම තීරණය ගනු ලැබීය.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වැඩි කාලයක් පැවතීමේ අවදානම වැඩි වී ඇති බව මෙම තොරතුරු වලින් පෙන්නුම් කරන්නේ යැයි එම ප්‍රකාශයේ සඳහන් විය.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සාධාරණ කාල රාමුවක් තුළ ඉලක්කයට නැවත පැමිණීම සහතික කිරීම සඳහා රටේ මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම අවශ්‍යද යන කාරණය ආර්ථික දත්ත සහ අවදානම් තක්සේරුව මත රඳා පවතින බව බුලොක් මහත්මිය පැවසීය.
මෙම මුදල් අනුපාතිකයේ නවතම වැඩිවීම දැනටමත් ඉන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ගේ ජීවිත දුෂ්කර කරනු ඇති බව ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසයි.
මෙම උද්ධමන අභියෝගයට මුහුණ දීමේදී රජයක් ලෙස උපරිමය සිදු කරමින් සිටින බවත් උද්ධමනය වැඩි කරනවාට වඩා උද්ධමනය පහත හෙළීමට හැකි වන ආකාරයේ ජීවන වියදම් සහන ලබා දෙන බවත් චාමර්ස් විසින් වැඩිදුරටත් පැවසීය.
බැංකු විසින් ණය ගැණුම්කරුවන් වෙත මෙම පොලී වැඩි කිරීමේ බලපෑම ලබා දෙන්නේ නම් ,මෙම මුදල් අනුපාත වැඩිවීම හේතුවෙන් ඩොලර් 500,000 ක ණයක් සඳහා මාසික ආපසු ගෙවීමට අමතර ඩොලර් 82 ක් එකතු කරනු ඇත.
සමස්තයක් වශයෙන් ගත් කල, පසුගිය වසරේ මැයි මාසයේ පොලී අනුපාත ඉහළ යාමට පෙර මාසිකව ආපසු ගෙවූ මුදලට වඩා සෑම මසකම ඩොලර් 1,300 කට ආසන්න වැඩිපුර මුදලක් ණය ගැනුම්කරුවන් විසින් දැන් ගෙවනු ලබයි.
ශ්‍රම වෙලඳපොලේ මෘදු බවක් පෙනෙන්නට ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ පමණක් එය වර්ධනය වීමට ඉඩ තිබේ.තොග මුදල් පිරිවැය වැඩිවීම හේතුවෙන් සිල්ලර ණය අනුපාත ඉහල යනු ඇත.ඕනෑම මුදල් අනුපාත ඉහල යාමක් සමඟ සම්බන්ධ ක්ෂණික බලපෑම අසමානුපාතික ලෙස දැනෙන්නේ ඔස්ට්‍රේලියාවේ උද්ධමන පීඩනයට අඩුවෙන්ම දායක වන සමාජයේ දුප්පත්ම කණ්ඩායමට බව ආර්ථික විශේෂඥයෙකු වන බ්‍රෙන්ඩන් රින් මහතා පැවසීය.
උද්ධමනයේ බලපෑම වහාම දැනෙන පෙට්‍රල්, බලශක්තිය සහ නිවාස කුලිය වැනි භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුමට මෙම පොලී අනුපාත වැඩිවීම මගින් සෘජු බලපෑමක් නොවීමට හෝ ඉතා අඩු බලපෑමක් සිදුවීමට ඉඩ ඇත.








