ඕස්ට්‍රේලියාවට නව COVID-19 රැල්ලක්. ඔබ දැන ගත යුත්තේ මොනවාද ?

A positive COVID-19 test on top of protective face masks.

Positive result shown on a Coronavirus rapid test over protective face masks. Symbol of safety measures during pandemic time Prevention of coronavirus infection. Source: Getty / Stefan Cristian Cioata

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අප නව COVID-19 රැල්ලක් අත් විදිමින් සිටින බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා තිබේ. පැතිරෙමින් පවතින කොවිඩ් ප්‍රභේද මොනවාද ? මෙම කොවිඩ් රැල්ල වැඩිපුරම බලපාන්නේ කාටද?


ඔස්ට්‍රේලියාව මේ වන විට මීළඟ COVID රැල්ලට මුහුණ දෙමින් සිටී. කලක පටන් මේ පිළිබඳ අනාවැකි පළ වූ අතර පසු ගිය අගෝස්තු මාසයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ දරුණු ලෙස කොවිඩ් වැළඳුණු රෝගීන් පිළිබඳ වාර්තා ඉහළ යාමට පටන් ගැනුණි. නමුත් ඔස්ට්‍රේලියාව පුරා ඒ සම්බන්ධයෙන් ස්ථාවර රටාවක් මතුවීමට මාස කිහිපයක් ගත වී තිබේ.

මෙම නව රැල්ල පිළිබඳ සාක්ෂි ලෙස COVID-19 ඇති කරන වෛරසය වන SARS-CoV-2 අංශු මේ වන විට අපජලයේ නිරීක්ෂණය කළ හැකි වන අතර කොවිඩ් වැළදීමෙන් රෝහල් ගතවීම් සහ ප්‍රතිවෛරස් සඳහා බෙහෙත් වට්ටෝරු ඉහළ යාම ද දැකිය හැක. අතීතයේ පැමිණි කොවිඩ් වසංගත රැලි හා සසඳන විට, මෙම නව කොවිඩ් රැල්ල සෙමින් හා දිගු කාලයක් පුරා ගොඩ නැගී තිබේ.

මෙම නව කොවිඩ් රැල්ල ගැන අප දන්නා දේ සහ ඉදිරි සති කිහිපය තුළ අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව මෙම ලිපිය සහ ගුවන් විදුලි විශේෂාංගය මගින් තොරතුරු ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ නව COVID-19 රැල්ලක ඇති බව හඳුනා ගත්තේ කෙසේද?

මින් පෙර පැවති කොවිඩ් වසංගත කාල වලදී ජනතාවගෙන් වැඩි පිරිසක් COVID-19 සඳහා පරීක්‍ෂා සිදු කරන ලද අතර ඔවුන්ගේ ප්‍රතිඵල වාර්තා කරන විට, රෝගීන් සංඛාව පිළිබඳ සහ කොවිඩ් පැතිරෙන ආකාරය පිළිබඳව වඩා විශ්වාසදායක ලෙස දැන ගැනීමට හැකි විය.

කෙසේ වෙතත්, මේ වන විට , ජාතික වශයෙන් COVID-19 සඳහා වඩාත් ප්‍රයෝජනවත් දර්ශකය වන්නේ ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ (PBS) ප්‍රතිවෛරස් ඖෂධ වන ritonavir (Paxlovid) සහ molnupiravir (Lagevrio) සඳහා නිර්දේශිත බෙහෙත් වට්ටෝරු ගණනෙහි ප්‍රවණතාව සලකා බැලීමයි.

බෙහෙත් වට්ටෝරු පිළිබඳව ලැබෙන ජාතික මට්ටමේ දත්ත සැලකූ විට මෑත කාලීනව එම බෙහෙත් වර්ග වල වැඩි වීමක් දක්නට ලැබේ.

නව කොවිඩ් රැල්ල උපරිම මට්ටමට පැමිණෙන්නේ කවදාද?

ඔස්ට්‍රේලියාවේ මෙම නව කොවිඩ් රැල්ලේ උපරිම මට්ටමේ විශාලත්වය සහ එය සිදුවන කාලය පුරෝකථනය කිරීම වඩාත් අපහසු වී ඇත. COVID-19 පරීක්ෂණ සඳහා ජනතාවගේ ප්‍රවේශය අඩු වීමත් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා කිරීමට ඇති අවශ්‍යතාව හෝ අවස්ථාව අඩු වීමත් මෙම කොවිඩ් රැල්ලේ මන්දගාමී වර්ධන වේගයට සහ එය වඩාත් දිගු කාලයක් පුරා පැවතීමට හේතු වී තිබේ.

නව කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය ප්‍රාන්ත සහ ටෙරිටරි අතර ද වෙනස් වීමට ඉඩ ඇත. එය විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා විවිධ කාල වල දී ආරම්භ වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, කොවිඩ් රැල්ලේ මන්දගාමී වර්ධන වේගය සහ 2023 වසර වන විට ප්‍රජාව තුළ දෙමුහුන් ප්‍රතිශක්තිය එනම් එන්නත් සහ ආසාදන යන දෙකින්ම ඇති වූ ප්‍රතිශක්තිය තවදුරටත් වැඩි වීම හේතුවෙන්, මෙම නව කොවිඩ් රල්ල මෙතෙක් ඇති වූ කුඩාම Omicron රැල්ල වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ගිම්හාන නිවාඩු කාලය ආරම්භයේදී මෙම කොවිඩ් රැල්ල අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිවාඩු කාලයේදී රැකියා සහ පාසල් සම්බන්ධතා බෙහෙවින් අඩු වන බැවින් ප්‍රජා සම්බන්ධතා අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටෙන බැවින් පවුල් සහ සහ මිතුරු හවුල් අතර වෛරසය පැතිරීමේ අවස්ථා අඩු වේ.

මෙම නවතම කොවිඩ් රැල්ලේ පැතිරෙන කොවිඩ් ප්‍රභේද මොනවාද?

මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැතිරෙන ප්‍රාථමික වෛරස් පෙළපත XBB නම් වේ.
පසුගිය මාස හය තුළ, XBB හි වඩාත්ම බලගතු විකෘති ප්‍රභේද දෙකක බලපෑම ඔස්ට්‍රේලියාව තුළ දක්නට ලැබිණ.

  1. Eris ලෙසද හැඳින්වෙන EG.5.1 හි වැඩි වීම සඳහා හේතු වූ F456L විකෘති ප්‍රභේදය
  2. වඩාත් මෑතදී, දක්නට ලැබුණු F456L+L455F යුගලනය වූ "FLip" නම් විකෘති ප්‍රභේදය

    එම විකෘති ප්‍රභේදයන් වේ.
මෙම තනි සහ යුගල විකෘති වෛරස ප්‍රභේද දෙක විසින් කොවිඩ් වෛරසය අපගේ සෛලවල තීරණාත්මක ප්‍රතිග්‍රාහකවලට බන්ධනය වීම අවහිර
කිරීමට සිරුර තුළ ඇති ප්‍රතිදේහ වල ක්‍රියාකාරීත්වයේ ඵලදායීතාව අඩු කරයි. එමගින් කොවිඩ් ආසාදනයට මිනිස් සිරෙරේ සංවේදීතාව වැඩි කරයි.

නව BA.2.86 කොවිඩ් වෛරස පෙළපත Pirola ලෙස හැඳින්වේ. බොහෝ අද්විතීය විකෘති ඇති එම ප්‍රභේදය පසු ගිය අගෝස්තු මාසයේදී ඩෙන්මාර්කයේ ප්‍රථම වරට වාර්තා විය. ඔස්ට්‍රේලියාවේ මෙම නවතම කොවිඩ් රැල්ලට Pirola විකෘති ප්‍රභේදය මෙතෙක් බලපා නැත. නමුත් එය ඔස්ට්‍රේලියාව තුළ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර එය 2024 වසරේදී ඕස්ට්‍රේලියාව තුළ ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

මෙම නව COVID රැල්ලෙන් වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ කවුරුන්ද?

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා සැලකූ විට COVID ආශ්‍රිත මරණ සහ දරුණු ලෙස කොවිඩ් නිසා රෝගී වීමේ අනුපාත විශාල ලෙස පහත වැටී ඇත. ඔස්ට්‍රේලියානු ප්‍රජාව විශාල වශයෙන් එන්නත් ලබා ගැනීමත් , ප්‍රජාව තුළ දෙමුහුන් ප්‍රතිශක්තිය ඇති වී තිබීමත් ඊට හේතුවී තිබේ. එමෙන්ම Omicron ප්‍රභේදයේ විශාල වෙනසක් සිදු වීමෙන් වෛරසය පෙනහළු ආසාදනය වීමේ සම්භාවිතාව අඩු වීමද ඊට ප්‍රධාන හේතුවකි.

කෙසේ නමුත්, 2023 ජනවාරි සිට ජූලි දක්වා ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි COVID-19 මරණ 3,000 ක් පමණක් සිදුව ඇති බව තාවකාලික සංඛ්‍යාලේඛන දත්ත මගින් පෙන්වා දේ.

———————————————————————————


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese



SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala



SBS Audio App: App Store 
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



———————————————————————————


මෙම වත්මන් රැල්ල අතරතුර වයස්ගත පුද්ගලයින් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් COVID වැළදීමෙන් දරුණු ලෙස රෝගාතුර වීමේ වැඩි අවදානමක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 75 හෝ ඊට වැඩි පුද්ගලයින් ඔවුන්ගේ අවසාන කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් මාස හයකට වඩා වැඩි කාලයක් ගත වී ඇත්නම් බූස්ටර් එන්නත ලබා ගත යුතු බව ප්‍රතිශක්තිකරණ පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නිර්දේශය මගින් පෙන්වා දී තිබේ.

එම නිර්දේශයන් මගින් වයස අවුරුදු 65-74 අතර පුද්ගලයින්ට සහ වයස අවුරුදු 18 සහ ඊට වැඩි දැඩි ප්‍රතිශක්තිකරණ ඌනතා තත්වයන් ඇති පුද්ගලයින්ට තවත් කොවිඩ් බූස්ටර් එන්නතක් ලබා ගැනීම පිළිබඳව සලකා බලන ලෙස ද පෙන්වා දී ඇත.

නමුත් , 2023 ඔක්තෝබර් මස අවසානය වන විට, වයස අවුරුදු 65-74 අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් එකක් , වයස අවුරුදු 75 හෝ ඊට වැඩි පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් සහ Agedcare වල සිටින පුද්ගලයින්ගෙන් අඩකට වඩා කට වඩා අඩු ප්‍රමාණයක් එනම් 45 % ක් පමණක් පසුගිය මාස හය තුළ කොවිඩ් එන්නත් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවට නව COVID-19 රැල්ලක්. ඔබ දැන ගත යුත්තේ මොනවාද ? | SBS Sinhala