දකුණු අර්ධ ගෝලයේ දැවැන්තම තුරඟ තරඟය සහ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම තුරඟ තරඟය ලෙස විරුදාවලිය ලත් "Melbourne Cup 2019" තුරඟ තරගය අද දිනයේ (05/11) මෙල්බර්න් නුවර Flemington තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
“රටම මොහොතකට නතර වන තුරඟ තරඟය” ලෙස හැඳින්වෙන මෙම "Melbourne Cup" තුරඟ තරඟය ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් අද පස්වරු 3 ට Flemington තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙන 7 වන තරගය ලෙසට ආරම්භ වෙයි.

Source: AAP
Melbourne Cup 2019
අද දිනයේදී Flemington තුරඟ තරඟ පිටියේදී තුරඟ තරග 10 ක් පවත්වන අතර පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් පෙරවරු 10.55 ට ය.
අවසාන තුරඟ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පස්වරු 5.15 ට බව racenet වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙවර "Melbourne Cup" තුරඟ තරගය සඳහා පිරිනමන මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 7.3 ක් වන අතර Melbourne Cup ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල් ප්‍රමාණය ලෙසද මෙය වාර්තා වේ.
ඒ අනුව "Melbourne Cup" තුරඟ තරගය ජයගන්නා අශ්වයාගේ අසරුවා හට එම ත්‍යාග මුදලෙන් 5% ක මුදලක් හිමිවන අතර එම අශ්වයාගේ පුහුණුකරු හට ත්‍යාග මුදලෙන් 10% ක මුදලක් හිමිවේ.

Flemington Racecourse Source: Facebook
Melbourne Cup තුරඟ තරඟය
"Melbourne Cup" තුරඟ තරඟය මෙවරද මීටර් 3200 ක ධාවනයකින් යුක්ත වන අතර වයස අවුරුදු 3 ට වඩා වැඩි අශ්වයින් 24 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
නමුත් ශරීර සුවතාව මත ඇතැම් අශ්වයින් තරගයෙන් ඉවත් කෙරෙන අතර අද පස්වරු 3 ට ස්වල්ප වෙලාවකට පෙර තරගයට සහභාගී වීමට නියමිත අශ්වයින් ගණන අවසාන වශයෙන් තීරණය කෙරේ.
මෙවර "Melbourne Cup" තුරඟ තරඟය සඳහා සහභාගී වන අශ්වයින්ගෙන් දෙදෙනෙකු ඔස්ට්‍රේලියානු අශ්වයින් වන අතර සෙසු අශ්වයින් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ජපානය, ජර්මනිය, නවසීලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල අභිජනනය කළ තුරඟුන් වේ.
Vow And Declare සහ Youngstar යන අශ්වයින් මෙවර Melbourne Cup තරඟය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියානු අශ්වයෝ වෙති.
මෙවර Melbourne cup තරඟය සදහා ඉදිරිපත්වී ඇති තුරඟුන් අතරින් අතිශය ජනප්‍රිය අශ්වයා හෙවත් Most favourite ලෙස ජපානයේ MER DE GLACE අශ්වයා හැඳින්වෙන අතර පසුගිය වසරේ ජයග්‍රහණය කළ බ්‍රිතාන්‍යයේ CROSS COUNTER අශ්වයාද මෙවර තරගයේ ජයග්‍රහණය කිරීමට වඩාත් ඉඩ ඇති ජනප්‍රිය අශ්වයකු ලෙස බොහෝ දෙනා විශ්වාස කරති.

Japanese import Mer De Glace is favourite for the Melbourne Cup Source: AAP
Melbourne Cup තරගයේ ත්‍යාග මුදල
Melbourne Cup යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම ත්‍යාග මුදල් හිමිවන තුරඟ තරඟය ලෙසට බොහෝ දෙනා සිතා සිටියද එය නිවැරදි නොවේ.
Melbourne Cup යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම ත්‍යාග මුදල් හිමිවන තුරඟ තරඟය වේ.
2016 වන තෙක් ඔස්ට්‍රේලියාවේ විශාලතම ත්‍යාග මුදල් හිමිවන තුරඟ තරඟය ලෙස Melbourne Cup වාර්තා වුවද 2017 දී ඇරඹි The Everest තුරඟ තරඟය එම වාර්තාව බිඳ දමන්නට සමත් විය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Randwick තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙන The Everest තුරඟ තරඟයේ පසුගිය වසරේ ත්‍යාග මුදල් වල වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 13 කි.
"Melbourne Cup" තුරඟ තරගය සඳහා පිරිනමන මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 7.3 කි.

Cross Counter won the 2018 Melbourne Cup Source: AAP
Melbourne Cup කුසලානය සහ පාගමන
Melbourne Cup කුසලානය “Loving Cup” ලෙසද හැඳින්වෙන අතර එය කැරට් 18 රත්‍රන් වලින් නිමවා ඇත.
තනිකරම අතින් සාදන ලද මෙම කුසලානය Melbourne Cup තුරඟ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා අශ්වයාගේ හිමිකරුට පිරි නමයි.
ජයග්‍රාහී අශ්වයාගේ අසරුවාට සහ පුහුණුකරුට එම කුසලානයේ ම ක්ෂුද්‍ර ආකෘති දෙකක් පිරිනමන බවද සඳහන්.
Melbourne Cup කුසලානයේ වටිනාකම ඩොලර් 150,000 ක් වන අතර ජයග්‍රාහී අශ්වයාගේ අසරුවාට සහ පුහුණුකරුට හිමීවන කුසලාන වල වටිනාකම ඩොලර් 10,000 කි.
අදාළ වසර කැටයමින් සටහන් කොට සෑම වසරකම නව කුසලානයක් මෙම තරඟය සඳහා නිර්මාණය කරන බවද වාර්තා වේ.
"Melbourne Cup" තුරඟ තරඟය නිමිතිකොටගෙන සෑම වසරකම ඊට පෙර දිනයේදී Melbourne Cup පාගමන මෙල්බර්න් නගර මධ්‍යයේදී පැවැත්වේ.
ඒ අනුව මෙවර Melbourne Cup පාගමන ඊයේ (04/11) මධ්‍යහන 12 ට Swanston වීදියෙන් ආරම්භවී Federation චතුරශ්‍රය වෙත පැමිණියේය.

Melbourne Cup Trophy 2019 Source: AAP
තුරඟ තරග සඳහා විරෝධය
තුරඟ තරඟ සඳහා යොදාගන්නා අශ්වයින් මුහුණ පාන විවිධ වධ බන්ධන සහ හිංසාකාරී ක්‍රියා පිළිබඳ පසුගිය මාසයේදී ABC රූපවාහිනිය විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමත් සමග ඒ පිළිබද ඔස්ට්‍රේලියාව තුළ දැඩි ආන්දෝලනයක් හටගනිමින් පවතී.
තුරඟ තරඟ සඳහා සහභාගී වන අශ්වයින් අභිජනනය කිරීමේ පටන් ඔවුන් තරග කිරීමට නොහැකි වයසට පත්වන තෙක් මුහුණ දෙන විවිධ අක්‍රමිකතා සහ හිංසන පිලිබඳ එහිදී තොරතුරු අනාවරණය කෙරිණි.
විශේෂයෙන්ම තුරඟ තරඟ සඳහා සහභාගී වී වියපත් භාවය නිසා ඉවත් කරන ලද අශ්වයින්ව මස් සඳහා මරා දැමීම පිළිබඳව එහිදී වැඩි වශයෙන් අවධානය යොමු විය.
අමානුෂික අන්දමින් මෙම සතුන්ට සැලකීම පිළිබඳ සත්ත්වයින්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන සංවිධාන විරෝධය පළ කරමින් සිටී.
මේ හේතුව නිසා තුරඟ තරඟ ප්‍රතික්ෂේප කරන ලෙසට එම සංවිධාන ජනතවගෙන් ඉල්ලා සිටියි.
මෙය මෙවර Melbourne Cup තුරඟ තරගයට ද දැඩි ලෙස බලපානු ඇත.
තුරඟ තරග හේතුවෙන් වසරකට අශ්වයින් 120 ක් පමණ තරග අතරතුරේදී මිය යන බවත් තවත් දහස් ගණනක් බරපතල තුවාල ලබන බවත් තුරඟ තරඟ සඳහා යොදාගන්නා අශ්වයින්ව සුරකීමේ සන්ධානයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ Elio Celotto පැවසීය.
කෙසේනමුත්, තුරඟ තරඟ සඳහා සහභාගී වී වියපත් භාවය නිසා ඉවත් කරන ලද අශ්වයින්ගේ සුබ සාධනය සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවට Racing Victoria ආයතනය පොරොන්දු වී ඇති බව ABC පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර අශ්වයින්ගේ සුබ සාධනය සඳහා අරමුදලක් පිහිටුවන බව Victoria Racing සමාජය දැනුම් දී තිබේ.
මේ සඳහා ඩොලර් මිලියනයක මුදලක් මේ වන විටත් පරිත්‍යාග කර ඇති බව Victoria Racing සමාජයේ ප්‍රධාන විධායක Neil Wilson පැවසීය.

Source: SBS Sinhala