ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බොහෝ විට වාසනාව ගෙනෙන MCG ගැන ඔබ නොදත් දේ (SBS සිංහල/ වාර්තා)

Melbourne Cricket Ground

Melbourne Cricket Ground Source: Flickr

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් 20-20 තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද රාත්‍රී 7 ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

MCG හෙවත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔස්ට්‍රේලියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද ඉතා වැදගත් ක්‍රීඩාංගනයක් වෙයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩා කරන විට වැඩිම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක පිරිසක් නිරතුරුවම රැස්වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගනය ලෙසද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය හැඳින්වේ.

ලෝක ප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳ ඔබ මෙතුවක් නොදත් කරුණු ගණනාවක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
MCG
Melbourne Cricket Ground Source: MCG

ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය

මේ වන විට ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය වාර්තා වේ.

100,024 ක ප්‍රේක්ෂක ධාරිතාවක් සහිත මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔස්ට්‍රේලියානුවන් අතර ප්‍රචලිතව ඇත්තේ “G” යනුවෙනි.

එමෙන්ම මෙය ඔස්ට්‍රේලියාවේ සහ දකුණු අර්ධ ගෝලයේ විශාලතම ක්‍රීඩාංගනය ලෙස වාර්තා වන අතර ලෝකයේ 10 වන විශාලතම ක්‍රීඩාංගනය ලෙසද වාර්තා වේ.
Melbourne Cricket Ground
Melbourne Cricket Ground Source: Flickr

Light towers

ලොව පවතින ඕනෑම ක්‍රීඩාංගනයක ඇති Light towers හෙවත් විදුලි ආලෝක කුළුණු අතරින් උසින් වැඩිම විදුලි ආලෝක කුළුණු පවතින්නේ ද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වීම තවත් සුවිශේෂී කරුණකි.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මෙම ආලෝක කුළුණු 1984 වසරේ දෙසැම්බර් මාසයේදී ඉදි කර අවසන් කෙරුණු අතර 1984 දෙසැම්බර් 03 වන දින රාත්‍රී 9.30 ට ප්‍රථම වරට ඒවායේ ආලෝකය දල්වන ලදී.

ඒ අනුව විදුලි ආලෝකය යටතේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ප්‍රථම තරගය පැවතියේ 1985 පෙබරවාරි 17 වන දිනය.

එවකට පැවති ලෝක ක්‍රිකට් ශූරතාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර එම තරගය පැවැත්විණි.

මීටර් 85 ක් උසැති විදුලි ආලෝක කුළුණු 6 ක් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය සතුව ඇත.

එක් විදුලි ආලෝක කුළුණක් තට්ටු 24 ක ගොඩනැගිල්ලක උසකට සමාන වේ.

මෙහි එක් විදුලි ආලෝක කුළුණක කිලෝවොට් 2ක Metal Halide විදුලි බුබුළු 140 ක් සමන්විත වේ.

සාමන්‍යයෙන් වසරකට මෙම විදුලි බුබුළු 30 ක් පමණ ප්‍රතිස්ථාපනය කරන බවද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගන බලධාරීන් පවසයි.

පරිගණක පද්ධතියක් ඇසුරින් ස්වයංක්‍රීයව මෙම විදුලි බුබුළු පණගැන්වෙන අතර අවශ්‍ය විට එය manual පාලනයටද සිදුකළ හැකිවේ.
Melbourne Cricket Ground
Light Tower - Melbourne Cricket Ground Source: Flickr

ක්‍රිකට් ක්‍රීඩාවේ මංගල තරග ඉතිහාසය

1853 වසරේදී මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන් විය.

ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය සහ එක් දින තරගය පැවැත්වුයේ ද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වීම සුවිශේෂී සිදුවීමකි.

1877 දී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ලොව පළමු ටෙස්ට් තරගය මෙහිදී පැවත්වුනු අතර ලොව ප්‍රථම එක් දින ජාත්‍යන්තර තරගයද එම කණ්ඩායම් දෙක අතර 1971 වසරේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

1956 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලද 2006 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්විණි.

ඊට අමතරව 1992 සහ 2015 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලි වල තරග ද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති අතර එම තරගාවලි ද්විත්වයේම අවසන් මහා තරග පැවැත්වුණේ ද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වීම තවත් සුවිශේෂී කරුණකි.

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ඔස්ට්‍රේලියානුවන්ගේ උන්මාදනීයම ක්‍රීඩාව වන ෆුටී ක්‍රීඩාව නිසාද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රසිද්ධියක් උසුලයි.

වාර්ෂිකව පැවැත්වෙන AFL ෆුටී තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ය.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් පිටත එම පරිශ්‍රයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයින් වන Don Bradman, Dennis Lillee, Dick Reynolds, Leigh Mathews සහ Ron Barassi ගේ ප්‍රතිමා ඔබට දක්නට හැකිය.
Melbourne Cricket Ground
Boxing Day Test at MCG Source: Flickr

ලොව විශාලතම ප්‍රේක්ෂක ධාරිතාව

ලොව විශාලතම ප්‍රේක්ෂක ධාරිතාවට හිමිකම් කියන ක්‍රිකට් ක්‍රීඩාංගනය වන්නේද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය වේ.

මෙහි ප්‍රේක්ෂක ධාරිතාව  100,024 කි.

ක්‍රිකට් තරගයක් සඳහා ලෝකයේ පැමිණි ඉහළම වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාව වන 93,013 වාර්තාවට හිමිකම් කියන්නේද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය වේ.

2015 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී එම වාර්තාව සටහන් විය.

එමෙන්ම ටෙස්ට් තරගයක් නැරඹීම සඳහා එක් දිනකදී පැමිණි ලෝකයේ විශාලතම ප්‍රේක්ෂක සංඛ්‍යාව වාර්තා වන්නේද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙනි.

2013 වසරේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති Boxing Day ටෙස්ට් තරගයේ Boxing Day හිදී එම තරගය නැරඹීමට වාර්තාගත 91,112 ක ප්‍රේක්ෂක පිරිසක් පැමිණි බව වාර්තා වේ.
Melbourne Cricket Ground
Sri Lankan Supporters at MCG Source: Getty Images

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා වාර්තා

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ජාත්‍යන්තර තරග 18 කට සහභාගී වී ඇති අතර ඉන් 11 ක් පරාජයට පත්වී 7 ක් ජයගෙන තිබේ.

ඒ අතරින් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සමග මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී එක් දින ජාත්‍යන්තර තරග14 කට මුහුණ දී ඇති අතර ඉන් තරග 6 ක් ජයගෙන තිබේ.

කෙසේවෙතත්, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට ඔස්ට්‍රේලියාවේ ඇති වාසනාවන්තම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසද බොහෝ දෙනා හඳුන්වයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාව සහභාගී වන ක්‍රිකට් තරග අතරින් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයකට වාර්තාගත ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක පිරිසක් සෑමවිටම සහභාගී වෙයි.

ලෝකයේ විදෙස් ක්‍රිකට් ක්‍රීඩාංගනයක දී ශ්‍රී ලංකාව සහභාගී වන ක්‍රිකට් තරගයක් නැරඹීමට ඉහළම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙන්නේ ද මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයට බව සඳහන්.

මෙනිසාම ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන්නා සේම ඔස්ට්‍රේලියාවේ මෙන්ම විදේශීය රටක ඇති ක්‍රිකට් ක්‍රීඩාංගන අතරින් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ජනප්‍රියතම ක්‍රීඩාංගනය ලෙස ද වාර්තා වේ.
Melbourne Cricket Ground
Source: SBS Sinhala



Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service