ඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය ඊයේ (08/05) රාත්‍රියේදී භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් ඉදිරිපත් කරන ලදී.
එහිදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට සුබ සාධන දීමනා ලබා ගැනීමට 2018 ජූලි 01 සිට වසර 4 ක කාලයක් බලා සිටීමට සිදුවන බව ප්‍රකාශ කෙරිණි.
මෙතෙක් එම කාලය පැවතියේ වසර 3 ක් ලෙසය. මෙමගින් ඔස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 200 ක ඉතිරියක් ලැබෙන බව සඳහන්.

දෝෂ දර්ශන
මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔස්ට්‍රේලියාවේ වෙසෙන සුබ සාධන දීමනා ලබගන්නා සංක්‍රමණික ප්‍රජාව එය විවේචනය කිරීමට පටන්ගත් අතර විවිධ ප්‍රජා සංවිධානද මෙම තීන්දුවට විරෝධය පළ කර තිබේ.
මෙය මෙවර අය වැයේදී ඉදිරිපත් කරනු ලැබූ කුරිරුම තීන්දුව බවත් මෙමගින් සමාජයේ වෙසෙන වැඩිම අවදානම් සහිත පිරිස් වෙත බරපතල බලපෑමක් සිදු කරන බවද ඔවුන් පවසයි.
“නවක සංක්‍රමණිකයින් හට ගෙවීම් කරන රැකියා සොයාගැනීම දුෂ්කරයි. එසේ තිබියදී මෙහෙ වෙසෙන පළමු අවුරුදු 4 කිසිදු සුබ සාධන දීමනාවක් නොලබා ජීවත්වීම ඇත්තෙන්ම අසීරුයි.” යනුවෙන් සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Cassandra Goldie පැවසුවාය.
මෙය ඔස්ට්‍රේලියාව වැනි රටකට එවැනි පුද්ගලයින් පිළිගන්නා ක්‍රමයක් නොවන බවත් ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට සහය දිය යුතු බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

අගමැති ටර්න්බුල් රජයේ තීරණය වෙනුවෙන් පෙනී සිටියි.
සුබ සාධන දීමනා ලබා ගැනීමට සංක්‍රමණිකයින් හට වසර 4 ක් බලා සිටීමේ තීරණය සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය සමාව අයැද නොසිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රථමයෙන්ම රැකියා කළ යුතු බවත් පසුව සාමාජ ආරක්ෂණ දීමනා පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පවසයි.
“ඔවුන් මෙහෙට පැමිණියේ නිපුණතා සංක්‍රමණිකයින් ලෙස. එනිසා අනිවාර්යෙන්ම ඔවුන් මෙහෙ පැමිණ රැකියා කළ යුතුයි. ඔවුන් අදාළ දීමනා සඳහා සුදුසුකම් ලබන තෙක් ඔවුන් පළමුව රැකියාවල නිරත විය යුතුයි.” යනුවෙන් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට සුබ සාධන දීමනා ලබා ගැනීමට බලා සිටිය යුතු කාලය පසුගිය මාස 6 ඇතුළත දෙවරක් වෙනස් විය.
2017 වසරේ ජූලි සිට මෙරටට පැමිණි සංක්‍රමණිකයින් හට සුබ සාධන දීමනා ලබා ගැනීමට බලා සිටිය යුතු කාලය වසර තුනක් දක්වා වෙනස් කෙරෙන බව පසුගිය දෙසැම්බර් මාසයේදී රජය නිවේදනය කළේය.
එතෙක් එය පැවතියේ වසර 2 ක් ලෙසය.
මේ අතර ඊයේ එළි දැක්වූ අය වැයෙන් එම කාලය වසර 4 ක් දක්වා දීර්ග කර ඇත.

පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම
කෙසේවෙතත්, මෙය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුව ඇති අතර එය සම්මත වී නීතියක් බවට පත්වුවහොත් සංක්‍රමණිකයින් හට සුබ සාධන දීමනා ලබා ගැනීමට බලා සිටිය යුතු කාලය වසර 4 ක් ලෙස ක්‍රියාත්මක වේ.
මේ අනුව Newstart, paid parental leave, the Carers Allowance සහ Family Tax Benefit යන දීමනාවන් ලබා ගැනීමට මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින් හට වසර 4 ක කාලයක් බලා සිටිය යුතු වේ.

ඩොලර් මිලියන 200 ක අමතර ඉතිරියක්.
මෙය සම්මත වුවහොත් ඔස්ට්‍රේලියානු රජයට අමතර ඩොලර් මිලියන 200 ක් ඉතිරි වන අතර පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කළ ඉතිරුම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 1.3 ට අමතරව මෙම ඩොලර් මිලියන 200 ඉතිරිය ලැබෙන බව සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

