නවතම සංගණන දත්ත වලට අනුව 2011 වසරට වඩා ඔස්ට්‍රේලියානුවන් සතියකට අඩු පැය ගණනක් සේවය කරන බව අනාවරණය වී තිබේ.
2011 වසරේ දී ගෙවීම් සහිතව ඔස්ට්‍රෙලියානුවෙකු සේවය කළ මුළු පැය ගණන 35.1 ක් වූ නමුත් 2016 දී එය 34.6 දක්වා පහළ බැස තිබේ.
එමෙන්ම 2011 දී පැය 41 කකට වඩා වැඩිපුර සේවය කළ ප්‍රමාණය 28.8 ක් වූ නමුත් එය 2016 දී 25.7% දක්වා අඩුවී ඇත.
මෙවර දත්ත අනුව කාන්තාවක් සතියකට ගෙවීම් සහිතව සේවය කරන පැය ප්‍රමාණය සාමන්‍යයෙන් 30 ක් වන අතර පිරිමියෙකු ගේ එම ප්‍රමාණය පැය 39 ක් වේ.
මීට අමතරව ඇතැම් රැකියා ක්ෂේත්‍ර වල තවමත් ස්ත්‍රී පුරුෂ භාවයේ විශාල හිඩැසක් දක්නට තිබෙන බවද වාර්තා වේ.
තාක්ෂණික හා ශ්‍රම වෙළෙඳ අංශයේ පිරිමින් 84% ක් ම යෙදී සිටින අතර සෞඛ්‍ය සේවා අංශයේ කාන්තාවන් 74% ක් යෙදී සිටියි.
ට්‍රක් රථ රියදුරන්, විදුලි කාර්මිකයින් සහ වඩු කාර්මිකයින් ඔස්ට්‍රේලියාවේ පිරිමින් අතර වඩාත් ජනප්‍රිය වෘත්තීන් වන අතර හෙද වෘත්තීය, ලිපිකරු සහ පිළිගැනීමේ නිලධාරිනී යන රැකියා කාන්තාවන් අතර වඩාත් බහුල ලෙස ජනප්‍රිය වේ.
පාසලින් පසු අධ්‍යාපනයට වැඩි යොමුවක්.

තමන්ගේ රැකියා හඹා යාමට ඔස්ට්‍රේලියානුවන් කවරදාටත් වඩා වැඩි උනන්දුවක් දක්වන බව මෙවර සංගණන දත්ත වලින් පෙනී යයි.
ඔස්ට්‍රේලියානු සමස්ත ජනගහනයෙන් මිලියන 9.6 ක පිරිසක් පාසලින් පසුව කුමන හෝ අධ්‍යාපන සුදුසුකමක් දරන බවත් එය 2006 වසරට සාපේක්ෂව 10% ක වැඩි වීමක් බවත් වාර්තා වේ.
ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සාමාන්‍ය උපාධිය ද පසුකරමින් පශ්චාත් උපාධි සුදුසකම් සඳහා ද පෙළඹීමක් වැඩි වශයෙන් දක්නට ඇති බවත් එය පසුගිය පස් වසර තුළ 46% කින් වැඩි වී ඇති බවත් වාර්තා වේ.
ගෙදර වැඩ අතින් කාන්තාවන්ට තවමත් වැඩි බරක්.

නිවසේ ඇති වැඩ රාජකාරී වැඩි ප්‍රමාණයක් තවමත් කාන්තාවන් අතින් සිදුවන බව මෙවර සංගණන දත්ත ද සාක්ෂි සපයයි.
පූර්ණ කාලීන වැටුප් සහිතව රැකියාවක් කිරීමට අමතරව නිවසේ වැඩ කටයතු කිරීම සඳහා සතියකට ගෙවීමක් නොමැතිව පැය 15 ක් පමණ කැප කරන කාන්තාවන් ගේ ප්‍රතිශතය 19% ක් වන අතර පිරිමින් ගේ එම ප්‍රතිශතය 8% ක් බව සඳහන්.
ගමනාගමනයේ රජුන් තවමත් මෝටර් රථ වේ.

ඔස්ට්‍රේලියාව තුළ රැකියා සඳහා යාමට තවමත් ප්‍රමුඛතම මාධ්‍ය වී ඇත්තේ වාහනය පදවාගෙන යාමය.
මිලයන 5 කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ මෝටර් රථය ධාවනය කරගෙන හෝ මෝටර් රථයක හිඳගෙන තම සේවා ස්ථානයට යන බව නවතම සංගණන දත්ත වාර්තා කරයි.
තවත් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් තම සේවා ස්ථානය වෙත යාමට දුම්රිය යොදා ගන්නා අතර තවත් 104,000 ක් දුම්රිය සහ බස් රථ යන මාධ්‍ය ද්විත්වයම යොදා ගනී.
පොදු ගමනා ගමන පහසුකම් බහුලවම භාවිතා කරන්නේ සිඩ්නි නුවර වැසියන් බවත් මෙල්බන් වැසියන් එහි දෙවැනි තැනට පත්වී ඇති බවත් සඳහන්.
ඔස්ට්‍රේලියාව තුළ තම සේවා ස්ථානයට වාහනයෙන් සේවයට වාර්තා කරන පිරිස බහුල වශයෙන් ඇත්තේ ඇඩිලේඩ් නුවර බවද වාර්තා වේ.
පයින් හෝ පාපැදියෙන් සේවයට බහුල වශෙයන් යනු ලබන්නේ කැන්බරා නුවර වැසියන් බවද හෙළිවී ඇත.
ABC පුවත් ඇසුරෙනි.

