ඔස්ට්‍රේලියාවේ නිවාස අලෙවියේ පසුගාමී තත්ත්වයක් පසුගිය කාලයේ පැවතියද ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි වල තත්ත්වය සුබදායී මට්ටමකට පත්ව ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය ජුනි මාසයෙන් අවසන්වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ auction clearance rate හෙවත් නිවාස වෙන්දේසි අනුපාතිකය මේ වසරේ ඉහළම මට්ටමකට පැමිණි හෙයින් මේ සුබදායී තත්ත්වය උද්ගතවූ බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වෙන්දේසිය ඉහළට
ජූලි මාසයේ පළමු සතිය වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ නිවාස හා දේපළ නියෝජිත ආයතන හරහා නිවාස 854 ක් වෙන්දේසි කිරීමට කටයුතු යොදා තිබුණු අතර එයින් 69% ක්ම අලෙවි කිරීමට හැකිවූ බව The Age පුවත්පත වාර්තා කරයි.
CoreLogic ආයතනයේ දත්ත වලට අනුව පසුගිය වසරේ මේ කාලය වන විට නිවාස 1,178 ක් වෙන්දේසි වූ නමුත් නිවාස වෙන්දේසි අනුපාතිකය 52% ක් වූ බව වාර්තා වේ.
මෙවර නිවාස වෙන්දේසි අනුපාතිකය ඉහළ නැගීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිවාස අලෙවි වෙළෙඳ පොළ යම් ස්ථායි තත්ත්වයකට පැමිණෙන බවට සුබදායී බලාපොරොත්තු තබාගත හැකි බව CoreLogic ආයතනයේ විශ්ලේෂිකා Cameron Kusher පැවසුවාය.
විශේෂයෙන්ම සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළට මේ කරුණ දැඩිව බලපාන බවද ඇය පෙන්වා දුන්නාය.

අලෙවියට යොමු කරන නිවාස වල අඩුවක්
නිවාස වෙන්දේසියේ තත්ත්වය එසේ වුවත් අලෙවියට යොමු කරන නිවාස වල අඩුවක් පවතින බව ද නවතම දත්ත පෙන්වා දෙයි.
පසුගිය ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස ත්‍රිත්වය ඇතුළත නිවාස 18,000 ක් පමණ වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබූ අතර එයින් 55.5% ක් පමණ අලෙවි වූ බව CoreLogic නවතම දත්ත වාර්තා කරයි.
එමෙන්ම පසුගිය වසරේ එම කාලය අතරතුර නිවාස 25,000 ක් පමණ වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබූ අතර එයින් 57.8% ක් පමණ අලෙවි වූ බව වාර්තා විය.

2019 ජූලි පළමු සතිය
මේ මස මුල සතියේදී ඔස්ට්‍රේලියාවේ සාර්ථකම නිවාස වෙන්දේසි අනුපාතිකය පැවතියේ සිඩ්නි කලාපයේ බව සඳහන්.
එහි නිවාස 318 ක් පමණ වෙන්දේසි සඳහා යොමු කර තිබූ අතර එයින් 77.2% ක් පමණ අලෙවි වූ බව වාර්තා වේ.
මෙල්බර්න් නුවර නිවාස 352 ක් පමණ වෙන්දේසි සඳහා යොමු කර තිබූ අතර එයින් 73.6% ක් අලෙවි විය.
ඒ අනුව පසුගිය සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල වෙන්දේසි අනුපාතිකය සමස්තයක් ලෙස ගත් කළ 70% කට වඩා ඉහළ මට්ටමක පැවති බවත් ඒ අනුව නිවාස වෙන්දේසි ඉතා යහපත් අතට හැරෙමින් පවතින බවට අනුමාන කළ හැකි බවත් CoreLogic ආයතනය පවසයි.


