ඔස්ට්‍රේලියාවේ සේවය කරන සේවකයින්ට නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවා ඔවුන්ගේ ශ්‍රමය සූරා කන සමාගම් සහ ආයතන වලට නුදුරේදීම දැඩි දඬුවම් පැමිණවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ celebrity සූපවේදියෙකු වන George Calombaris අධ්‍යක්ෂවරෙයෙකු ලෙස කටයුතු කරන සමාගම සිය සේවකයින්ට වැටුප් ගෙවීමේදී ඩොලර් මිලියන 7.8 ක දැවැන්ත මුදලක් අඩුවෙන් ගෙවා ඇති බවට වාර්තා වීමත් සමග මේ කරුණ උත්සන්න වීම ආරම්භ වී තිබේ.

ශ්‍රමය සූරාකෑමට දැඩි දඬුවම්
ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන සේවකයින්ව සූරා කන සමාගම් සහ ආයතන වලට එරෙහිව අපාරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට අදාළ නීති ප්‍රතිපාදන සැකසීමට මේ වන විට නීතිපතිවරයා කටයුතු කරමින් පසුවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසූ බව The Age පුවත්පත වාර්තා කරයි.
මෙලෙස නව නීති සකස් කිරීමෙන් අනතුරුව නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවා සේවකයින්ගේ ශ්‍රමය සූරා කරන සමාගම් සහ ආයතන වලට කිසිදු ආකාරයකින් ගැලවීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති සහ කර්මාන්ත කටයුතු අමාත්‍ය Christian Porter පවසයි.
අඩු වැටුප් ගෙවීම නිසා George Calombaris ගේ සමාගමට $200,000 ක ඉතා අඩු දඩ මුදලක් ගෙවීමට නියමව ඇති බවද ඔහු පැහැදිලි කළේය.
මීට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක 7-Eleven ශාඛා වල සිදුවූ මෙවැනිම අඩු වැටුප් ගෙවීමේ සිද්ධියක්ද වාර්තා වූ අතර එතැන් පටන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කරන්නට විය.

නිදහසට කාරණා පිළිගැනීමට නොහැකියි
යම් ආයතනයක් තම සේවකයින්ට නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවා සේවකයින්ගේ ශ්‍රමය සූරා කෑම අත්වැරැද්දක් හෝ නොදැනුවත්ව සිදුකරන ක්‍රියාවක් ලෙසට සැලකිය නොහැකි බව Australian Competition and Consumer කොමිසමේ සභාපති මහාචාර්ය Allan Fels පවසයි.
එලෙස අඩු වැටුප් ගෙවීම යනු ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත කරන ලද වැටුප් පද්ධතිය බිඳ දැමීමක් බවද ඔහු අවධාරණය කරයි.
එනිසාම මෙවැනි අකටයුතුකම් සහ අසාධාරණ ක්‍රියාවන්ට ඉතා දැඩි දඬුවම් පැමිණවිය යුතු බවද ඔහු පවසයි.
මෙම නව නීති කෙටුම්පත් වෘත්තීය සමිති සහ කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක මූලික සංවිධාන සමග සාකච්ඡා කිරීමට ඉදිරි මාසයේදී අදහස් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති සහ කර්මාන්ත කටයුතු අමාත්‍ය Christian Porter පවසයි.

ශ්‍රමය සූරා කෑමට සහ අඩු වැටුප් ගෙවීමට නිතර ලක්වන පිරිස්
ඔස්ට්‍රේලියාව තුළ නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවීමට සහ ශ්‍රමය සූරා කෑමට නිරතුරුවම ලක්වන පිරිස් කිහිපයක් සිටින බව වාර්තා වේ.
එම අවදානම් පිරිස් අතර ජාත්‍යන්තර සිසුන්, Working Holiday වීසා ලබා පැමිණෙන Backpacker වරුන්, මෙන්ම තාවකාලික වීසා මත රැදී සිටින පිරිස් ප්‍රධාන බව සඳහන්.
බොහෝ වේලාවට ආදායම් බදු වලින් තොරව අත්පිට මුදලට හෝ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකයට සේවය කරනු ලබන විටදී මෙලෙස නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවීමට පහසු වන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ සෑම රකියවකටම නියම කළ වැටුප් තලයක් ඇත.
ඔබ නීත්‍යානුකූල ලෙස ආදායම් බදු අංකයක් යටතේ හෝ ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අංකයක් යටතේ ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන පුද්ගලයෙකු නම් ඔබට ඔබගේ රැකියාවට නියමිත වැටුප් ගෙවීමට අදාළ සමාගම හෝ ආයතනය බැදී සිටියි.
යම් හෙයකින් ඔබට නියමිත ප්‍රමාණයට වඩා අඩු වැටුප් ගෙවීමක් හෝ ඔබගේ ශ්‍රමය සූරා කෑමක් සිදුවනවානම් 13 13 94 යන දුරකතන අංකයෙන් Fair Work Australia ආයතනය අමතන්න.


