කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තාවකාලික වීසා ලාභීන්ව නොසලකා හැරිය බවට සෙනට් විමර්ශන කමිටුව හමුවේ සරණාගත උපදේශක කණ්ඩායම් පවසයි.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දැක්වූ අයුරු පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමට මෙම සෙනට් විමර්ශන කමිටුව කැඳවා තිබුණි.

තාවකාලික වීසා ලාභීන්ව නොසලකා හැරීම
කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන්ට මුහුණ පෑමට සිදුවූ සමාජ - ආර්ථික ගැටළු පිළිබඳව Asylum Seeker Resource Centre (ASRC) ඇතුළු සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පිළිබඳ ක්‍රියාකාරී සංවිධාන මෙම සෙනට් විමර්ශන කමිටුව හමුවේ තොරතුරු ඉදිරිපත් කළේය.
මෙම කාලයේදී තම සංවිධානයට ලැබෙන ආහාර, සෞඛ්‍ය සහ රැකියා සෙවීම සඳහා වන ඉල්ලුම තුන් ගුණයකින් වැඩිවී ඇති බව ASRC සංවිධානය එහිදී පවසා ඇත.
කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවන්ට පත්ව සිටින ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙන JobKeeper සහ JobSeeker වැනි ආර්ථික සහන දීමනා තාවකාලික වීසා ලාභීන්ට ලබා නොදීම ඊට හේතුව බව ඔවුහු පෙන්වා දෙති.
මෙවන් අර්බුදයකදී තාවකාලික වීසා ලාභීන්ව නොසලකා හැරීම මහත්වූ කම්පනයට කරුණක් බව ASRC හි ප්‍රවර්ධන සහ උපදේශන අධ්‍යක්ෂ Jana Favero පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන් ද රැකියා කරමින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට බදු ගෙවන කොටසක් බැවින් ඔවුන් හටද මෙම අවස්ථාවේදී සුබ සාධන දීමනා ලබා දිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියාත්මක කරන සුබ සාධන දීමනා වැඩපිළිවෙලට මිලියන 2.1 ක් වූ තාවකාලික වීසා ලාභීන් ද ඇතුළත් කරන ලෙස ASRC සංවිධානය මධ්‍යම රජයට බල කර සිටියි.

උදව් ඉල්ලා අලුතෙන් ඉල්ලීම් 850 ක්
කොරෝනා වසංගතය නිසා දුර්වල ශාරීරික, මානසික සෞඛ්‍ය මෙන්ම කුසගින්න සහ නවාතැන් අහිමිවීම වැනි ගැටළු වලට උදව් ඉල්ලා මේ වසරේ පළමු මාස හතර තුළ අලුතෙන් ඉල්ලීම් 850 ක් පමණ තම සංවිධානයට ලැබුණු බව ASRC පවසයි.
පසුගිය වසරේදී පමණක් උදව් ඉල්ලා ලැබුණු ඉල්ලීම් 1,249 ක් බවද සඳහන්.
271 දෙනෙකුට මෙම වසංගතය නිසා තම රැකියාව අහිමිවූ බවත් තවත් 600 දෙනෙකුට රැකියාවකට තේරී තිබුණද මෙම වසංගතය නිසා බඳවා ගැනීමේ කටුයුතු සිදු නොවුණු බවත් වාර්තා වේ.
මේ අතර ආහාර අවශ්‍යතා සපුරාගත නොහැකි තාවකාලික වීසා ලාභීන් 1,985 දෙනෙකුට හදිසි ආහාර මළු පිරිනැමීමටද ASRC සංවිධානය පියවර ගෙන තිබුණි.

බොහෝ තාවකාලික වීසා ලාභීන්ට මව් රටට යා නොහැකියි
කොරෝනා වසංගතය පවතින සමයේදී ආර්ටික වශයෙන් තමන්ව රැකබලා ගැනීමට නොහැකි තාවකාලික වීසා ලාභීන්ට ඇති හොඳම විකල්පය සිය මව් රටට යාම බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගිය මාර්තු මාසයේදී පැවසීය.
නමුත් බොහෝ රටවල දේශ සීමා වසා දමා ඇති බැවින් මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම නිසා එලෙස තම මව් රටට පවා යාමට බොහෝ තාවකාලික වීසා ලාභීන්ට අපහසු වී ඇත.
එමෙන්ම රැකවරණය පතා නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ට සහ සරණාගතයින්ට තම මව් රටට යාම විකල්පයක් නොවන බවද ASRC සංවිධානය පවසයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ රැකියා කරන තාවකාලික වීසා ලාභීන් හට තම superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දුන්නේය.
Medicareන පහසුකම් නොමැති 433 දෙනෙකුට තම සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා සුදුසු වවුචර් පිරිනැමු බවද එම සංවිධානය පවසයි.


