Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබේ දරුවාටත් "සිංහල" ඉගැන්වීමට, වික්ටෝරියා ප්‍රාන්තයෙන් අත්වැලක් (SBS සිංහල/වාර්තා)

ඕස්ට්‍රේලියාවේදී ළමුන්ට සිංහල භාෂාව ඉගෙනීමේ පවතින වැදගත්කම සම්බන්ධයෙන්, පුස්තකාලධිපතිනියක සහ වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක වන තුෂාරි පෙරේරා මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාක් හරහා මෙම ලිපිය සැකසේ

Help from Victoria to learn "Sinhala language" which will benefit your child
Source: Pexels / Katerina Holmes

ඕස්ට්‍රේලියාවේදීත් අපගේ මව් භාෂාව වන සිංහල භාෂාව ඉගෙනීම සඳහා දරුවන් යොමු කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වශයෙන් හැඳින්විය හැකියි. මේ සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව වැඩි වශයෙන් සිටින වික්ටෝරියා ප්‍රාන්තය තුල පහසුකම් රැසක් මේ වනවිට පවතී.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තය තුල සිංහල භාෂාව ඉගෙනීමට පවතින අවස්ථා සහ ස්ථාන
  • වික්ටෝරියානු සිංහල භාෂා පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා පවතින විෂය මාලාව
  • ඕස්ට්‍රේලියාව තුල ළමුන් හට සිංහල භාෂාව ඉගැන්වීමේදී ගුරුවරයකු වශයෙන් පවතින කාර්යභාරය
  • ළමුන්ගේ සිංහල භාෂා ඉගෙනුම් සඳහා දෙමාපියන්ගේ දායකත්වය
  • සිංහල භාෂාව ඉගෙනීම සඳහා ළමුන් අවධානය යොමු කල යුතු කරුණු
  • ඕස්ට්‍රේලියාවේ ළමුන් හට සිංහල භාෂාව ඉගෙනීමේ වැදගත්කම
  • ඕස්ට්‍රේලියාවේදී සිංහල ඉගෙනුමෙන් ළමුන්ට ලැබෙන ප්‍රතිලාභ

ඕස්ට්‍රේලියාවේදී සිංහල භාෂාව ඉගෙනීම සම්බන්ධයෙන් සහ මේ සඳහා පවතින පහසුකම් පිළිබඳව කතා බහ කිරීමට SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වන්නේ පුස්තකාලධිපතිනියක සහ වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක වන තුෂාරි පෙරේරා මහත්මිය.

වික්ටෝරියා ප්‍රාන්තය තුල සිංහල භාෂාව ඉගෙනීමට පවතින අවස්ථා සහ ස්ථාන

වික්ටෝරියා ප්‍රාන්තය තුල සිංහල භාෂාව ඉගෙනීමට පවතින ප්‍රධානතම ස්ථානය වික්ටෝරියානු භාෂා පාසල වශයෙන් හැඳින්විය හැකියි.

මෙය ඔස්සේ ප්‍රාන්තය තුල මධ්‍යස්ථාන 63ක විවිධ භාෂා 58 ඉගැන්වීම සිදු වේ. මෙමගින් සිංහල භාෂාව මධ්‍යස්ථාන 9ක් තුල ඉගැන්වීම සිදු වන බව තුෂාරි මහත්මිය පවසයි.

මෙම සිංහල භාෂාව ඉගැන්වීම් කටයුතු සෙනසුරාදා දින උදෑසන 9 සිට පස්වරු 12.20 දක්වා සිදු කෙරෙන අතර මේ සඳහා අඩු මුදලක් වැය වීම සිදු වන බවත් තුෂාරි මහත්මිය පෙන්වා දෙයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව මෙම වික්ටෝරියානු සිංහල භාෂා පාසල් පවතී. මේ හේතුවෙන් සාමාන්‍යයෙන් ප්‍රාන්තයේ පාසල් සඳහා බලපැවැත්වෙන නීති සහ රෙගුලාසි මෙම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ඉගැන්වීම් කටයුතු සිදු කරන කාර්යමණ්ඩලයටද බලපැවැත්වේ.

ප්‍රාන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සකසන ලද විෂය නිර්දේශයකට අනුව මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

Pexels /  Pragyan Bezbaruah
Source: Pexels / Pragyan Bezbaruah

එමෙන්ම VCE හෙවත් වික්ටෝරියානු ප්‍රාන්ත විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේදී සිංහල භාෂාව සඳහා පෙනී සිටීමට හැකියාව පවතින්නේ මෙම සිංහල භාෂා පාසැල හරහා පමණක් වන බව තුෂාරි මහත්මිය පවසයි. කෙසේ නමුත් ඇය පෙන්වා දෙන්නේ මීට අමතරව ප්‍රජා පාසල් මගින්ද සිංහල භාෂාව ඉගැන්වීම සිදු කෙරෙන බවයි.

වික්ටෝරියානු සිංහල භාෂා පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා පවතින විෂය මාලාව

වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සකසන ලද විෂය මාලාවකට සහ ගුරු මාර්ගෝපදේශ මාලාවකට අනුව මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

මෙහිදී ඉංග්‍රීසි අක්ෂර නොවන අක්ෂර මාලාවක් පවතින භාෂා සඳහා භාවිත වන Curriculum for Non-Roman Alphabet Languages යන විෂය මාලාව සිංහල භාෂාව සඳහා භාවිත වේ. මෙම විෂය මාලාවට අමතරව මාර්ගෝපදේශ සහ ළමුන්ගේ ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් වන අත් පොත් ද පවතින බව තුෂාරි මහත්මිය පවසයි.

මෙම පාසල් තුල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන් හට වුර්තීය මට්ටමේ පුහුණුවීම් ලබාදීම සිදු වේ.

මෙම පාසල් මගින් සාමාන්‍ය පාසල් වල පවතින ආකාරයට සෑම වසරකදීම සිසුන් හට ප්‍රගති වාර්තා දෙකක් ලබාදීම සිදු කරන අතර ළමුන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීම සඳහා වන හමුවීම්ද සිදු කෙරේ.

ඕස්ට්‍රේලියාව තුල ළමුන් හට සිංහල භාෂාව ඉගැන්වීමේදී ගුරුවරයකු වශයෙන් පවතින කාර්යභාරය

තුෂාරි මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින සිසුවකුට වඩා ඕස්ට්‍රේලියාවේ සිටින සිසුවකු හට සිංහල භාෂාව ඉගැන්වීම අභියෝගයක් වන බවයි. මෙහිදී කියවීම සහ ලිවීම යන කරුණු සම්බන්ධයෙන් ළමුන් යම් වෙහෙසක් දරන බවත් ඇය පෙන්වා දෙයි.

කෙසේ නමුත් ළමුන් හට මතක තබාගත හැකි අයුරින් සිංහල භාෂාව ඉගැන්වීමට හැකියාව ගුරුවරුන් සතුව පවතින අතර ඒ සඳහා ගුරුවරුන් නිර්මාණශීලී වියයුතු බව ඇය පවසයි.

Pexels /  CDC
Source: Pexels / CDC

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ පාසල් තුලදී කුඩා ළමුන් හට ක්‍රීඩා සහ විවිධ ක්‍රියාකාරකම් හරහා මුලික සංකල්ප ඉගැන්වීම සිදුවේ.මේ හේතුවෙන් තුෂාරි මහත්මිය පෙන්වා දෙන්නේ මෙම ක්‍රම සිංහල භාෂාව ඉගැන්වීමේදීද භාවිත කලයුතු බවයි.

ළමුන්ගේ සිංහල භාෂා ඉගෙනුම් සඳහා දෙමාපියන්ගේ දායකත්වය

ගුරුවරුන්ට හා සමානව දෙමාපියන්ද මේ සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කල යුතුවේ. මෙහිදී නිවසේදී දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා කිරීම වැදගත් වේ.

කෙසේ නමුත්, සිංහල භාෂාවෙන් නිවසේදී ළමුන් සමග කතා කලද ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු ලබාදීම සිදු කරන බව දෙමාපියන් පවසන අතර, මෙය හොඳ ප්‍රවනතාවයක් බව පෙන්වා දෙමින් තුෂාරි මහත්මිය පවසන්නේ ළමුන් හට සිංහල වචන නොතිබීම සහ වාක්‍ය රටාවක් නොතිබීම මේ සඳහා හේතු වන බවයි.

ළමුන් සිංහල භාෂා පාසලේදී සිදු කල අභ්‍යාස නිවසේදී සිදු කරවීම සහ ශ්‍රී ලාංකික සංස්කෘතික අංග ළමුන්ට සමීප කිරීම වැදගත් වේ.

Thushari Perera, Librarian and a Sinhala language teacher of Victorian language school
Thushari Perera - Librarian/Sinhala language teacher at Victorian language school Source: Supplied by Thushari Perera

සිංහල පොත් පත් භාවිතයට ළමුන් හුරු කිරීම හෝ සිංහල භාෂාවෙන් කතන්දර කියවීම දෙමාපියන් සිදු කිරීම වැදගත් වන බවත් ඇය පවසයි.

සිංහල භාෂාව ඉගෙනීම සඳහා ළමුන් අවධානය යොමු කල යුතු කරුණු

මෙම සිංහල භාෂා පාසල් සෙනසුරාදා දිනයන්හි පැවැත්වෙන අතර වසරේ සෑම සෙනසුරාදා දිනකම පන්ති සඳහා සහභාගී වීම වැදගත් වේ.

නිවසේදී කලයුතු වැඩකටයුතු සිදු කිරීම / නිවසේදී සිංහලෙන් කතා කිරීමට උත්සාහ කිරීම සහ සිංහල පොත් පත් කියවීමද වැදගත් වේ.

ඕස්ට්‍රේලියාවේ ළමුන් හට සිංහල භාෂාව ඉගෙනීමේ වැදගත්කම

තුෂාරි මහත්මිය පවසන්නේ සිංහල භාෂාව පමණක් නොව ද්විතීක භාෂා ඉගෙනීම ළමුන්ට ඉතා වැදගත් වන බවයි.මේ ඔස්සේ ළමුන්ගේ චින්තන ශක්තිය දියුණු වීම සිදු වන බව පරීක්ෂණ ඔස්සේද අනාවරණය වී තිබේ.

Pexels /  Katerina Holmes
Source: Pexels / Katerina Holmes

ප්‍රාථමික පාසල් තුල ද්විතීක භාෂා ඉගැන්වීම මින්පෙර සිදු නොවූ නමුත් 2025 වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම ප්‍රථමික පාසලකම ද්විතීක භාෂා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

ඕස්ට්‍රේලියාවේදී සිංහල ඉගෙනුමෙන් ළමුන්ට ලැබෙන ප්‍රතිලාභ

ඕස්ට්‍රේලියාව බහුවාර්ගික රටක් වීම හේතුවෙන් විවිධ භාෂා සඳහා මෙරට වැඩි වටිනාකමක් හිමි වන බව තුෂාරි මහත්මිය පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේදී භාෂාවක් ඉගෙනීම මගින් ලබාගත හැකි ලකුණු සඳහා මෙලෙස සිංහල භාෂාව ඉගෙනීම මහත් රුකුලක් වන බව පෙන්වා දෙමින් ඇය අවසන් වරට පැවසූයේ ප්‍රජා භාෂාවක් දැන සිටීම, රැකියාවක් සඳහා යොමු වීමේදී පවා ළමුන්ට වාසි රැසක් අත්කොටදෙන බවයි.


4 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now