ඔස්ට්‍රේලියාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී අදට (22/04) දින 88 කි.
එතැන් පටන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන සෑම පුද්ගලයෙකුගේම ජන ජීවිතය බරපතල ලෙස වෙනස් වන්නට විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම් තත්ත්වය යහපත් මට්ටමකට පැමිණෙමින් ඇති බවක් පසුගිය සතිය මුළුල්ලේම දක්නට ලැබේ.
ඔස්ට්‍රේලියාවේ නවතම කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Brendan Murphy ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
එහි සාරාංශගත සටහන පහත පරිදි වේ.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගියද පෙර සැලසුමටම වැඩ කරන්න
පසුගිය සතියේ පටන් ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ක්‍රමිකව පහත බසින ආකාරයක් පෙනෙන්නට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.
කොරෝනා වසංගතය මැඩලීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තුන්වන මට්ටමේ නීති ක්‍රියාත්මක කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවී ඇති බව අගමැති මොරිසන් පැහැදිලි කළේය.

එහිදී ඔස්ට්‍රේලියානුවාසීන්ද විශාල කැප කිරීමක් සිදු කර ඇති බවත් මෙය අවසන් වනතුරු ඉදිරියටත් එම සැලසුමේ ම සිටිය යුතු බවත් අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.
මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් තුනෙන් දෙකක් පමණ සුවය ලබා ඇති බවත් ඊයේ (21/04) දිනය වන විට ක්‍රියාකාරී මට්ටමේ වයිරසය ආසාදිත පුද්ගලයින් 2500 කට අඩු සංඛ්‍යාවක් පමණක් වාර්තා වන බවත් අගමැති මොරිසන් පැහැදිලි කළේය.

නවතා දැමූ හදිසි නොවන ශල්‍යකර්ම නුදුරේදීම යළි ආරම්භ කෙරේ
කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා නවතා දැමූ හදිසි නොවන ශල්‍යකර්ම නුදුරේදීම යළි ආරම්භ කිරීමට ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරුණි.
ඒ අනුව එළඹෙන අප්‍රේල් 25 වන දිනට යෙදෙන Anzac දිනයෙන් අනතුරුව එම ශල්‍යකර්ම සඳහා පනවා ඇති තහංචි ක්‍රමිකව ඉවත් කෙරෙනු ඇත.
එහිදී 25% ක පමණ හදිසි නොවන ශල්‍යකර්ම මුලින්ම ආරම්භ කිරීමට අවසර ලබා දෙන බව අගමැති මොරිසන් පැවසුවේය.
කෙසේවෙතත්, මෙම තීන්දුව මැයි 11 වන දින සමලෝචනය කිරීමටද මධ්‍යම රජය අපේක්ෂා කරයි.

වැඩිහිටි සුරැකුම් සේවා සඳහා සීමාවන් සහ වියපත් පුද්ගලයින්ව හුදකලා කිරීම
ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වලට පැමිණෙන අමුත්තන් සඳහා සීමාවන් පනවා ඇති අතර ඇතැම් මධ්‍යස්ථාන සඳහා අමුත්තන්ට ඇතුළු වීම මුළුමනින්ම තහනම් කර ඇත.
එම තීරණ ගැනීමේ වගකීම අදාළ ප්‍රාන්ත රජයන්ට ඇති බව අගමැති මොරිසන් ඊයේ පැවසුවේය.
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින වියපත් පුද්ගලයින්ව හුදකලා නොකර අමුත්තන් සමග මුණ ගස්වන වැඩපිළිවෙලක් සකස් කිරීම වැදගත් බවද ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම තම නිවෙස් වලම ස්වයං නිරෝධායනය වන වියපත් පුද්ගලයින් ද තනි නොකල යුතු බවද අගමැතිවරයා පැවසීය.

පුද්ගල දුරස්ථභාවය පාසල් තුළ වෙන වෙනම අනුගමනය කළ යුතුය
මේ වසරේ දෙවැනි වාරය සඳහා ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල මේ වන විට පාසල් ආරම්භ වී තිබේ.
බහුතරයක් පාසල් සිසුන්ට නිවසේ සිටම තම අධ්‍යන කටයුතු සිදු කිරීමට බලධාරීන් උනන්දු කර තිබේ.
නමුත් අත්‍යවශ්‍ය සේවාවන් වල නිරතවන දෙමාපියන්ගේ දරුවන්ට පාසල් විවෘතව තැබෙන බව අගමැති මොරිසන් පැවසුවේය.
කෙසේවෙතත්, පුද්ගල දුරස්ථභාවය පාසල් තුළ වෙන වෙනම අනුගමනය කළ යුතු බවද ඔහු ඊයේ පැවසුවේය.

කොරෝනා මර්දනය කිරීමට හඳුන්වාදෙන නව ජංගම දුරකතන app එක
කොරෝනා වසංගතය පාලනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දීමට සූදානම් වන මෙම නව ජංගම දුරකතන app එක හරහා ඔස්ට්‍රේලියානුවන්ගේ ගමන් බිමන් අධීක්ෂණය කෙරේ.
එයට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රාන්ත හා ටෙරිටරි බලධාරීන් ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව අගමැති මොරිසන් පැවසීය.

මෙම නව ජංගම දුරකතන app එක හරහා කරුණු 3ක් ඉෂ්ඨ වන බවද අගමැතිවරයා පැහැදිලි කළේය.
- තමන්ගේ සහ තමන්ගේ පවුලේ උදවියගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම.
- අනෙක් ඔස්ට්‍රේලියනුවන්ටද ආරක්ෂා වීමට උපකාර වීම.
- මෙම app එක වැඩි දෙනා බාගත කරගතහොත් සාමාන්‍ය මට්ටමට පැමිණිය හැකිය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙය පුද්ගලික අංශය සමග එක්ව නිෂ්පාදනය කිරීමට පියවර තබා ඇති අතර තවත් සති දෙකකින් පමණ එහි පූර්ණ නිමැවුම අවසන් වනු ඇති බව වාර්තා වේ.


