පසුගිය වසර පහ තුල දී බටහිර රටවල් තුළින් වාර්තා වූ දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව 320%කින් වැඩි වී ඇති බව ඔබ දන්නවාද?
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය බදාදා (20/11) නිකුත් වූ ගෝලීය ත්‍රස්තවාදී ක්‍රියා දර්ශකයට අනුව 2019 වර්ෂය තුල දී උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය සහ ඕසියානා යන කලාප වල පිහිටා ඇති රටවල් 19ක් ත්‍රස්තවාදී ක්‍රියා වලට ගොදුරු වී ඇත.
එසේම දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සෑම වසරක් පාසාම වැඩි වෙමින් පවතියි. Institute for Economics & Peace ආයතනය මගින් පල කල නවතම වාර්තාවට අනුව 2017 වසරේදී මරණ 11ක්ද, 2018 වසරේදීමරණ 26ක්ද, 2019 වසරේ සැප්තැම්බර් වන විට මරණ 77ක්ද දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදුවී ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් 2018 වසරේදී ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදුවුනු ගෝලීය මරණ සංඛ්‍යාව 15,952කට අඩුවී තිබෙයි. මෙය පෙර වසරට වඩා 15.2%ක අඩු වීමකි. එසේම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වන වසරටත් අඩු වී තිබීම විශේෂත්වයකි.
ත්‍රස්තවාදය සහ ඔස්ට්‍රේලියාව
සෑම වසරකදීම ගෝලීය ත්‍රස්තවාදී ක්‍රියා දර්ශකය මගින් ත්‍රස්තවාදී ක්‍රියා වල බලපෑම රටවල් වලට ඇති ආකාරය අනුව ශ්‍රේණිගත කිරීමක් සිදු කරයි.
මෙහිදී රටවල් 163ක් අතරින් ඔස්ට්‍රේලියාව 71ක් වෙනි ස්ථානයට පත් වී තිබෙයි. එසේම මෙය පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථාන තුනක වර්ධනයක්ද වෙයි.
ඔස්ට්‍රේලියාව තුල සිදුවන දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සංඛ්‍යාව වැඩී වීම නව අභියෝගයක් බව Institute for Economics & Peace ආයතනයේ විධායක සභාපති Steve Killelea පැවසුවේය.

SBS News ජාලයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට වඩා වෙනස් බවයි. දක්ෂිණාංශික අන්තවාදීන් වෙනත් ත්‍රස්ත කණ්ඩායම් සමඟ එක්ව ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදෙනවා වෙනුවට තනිව ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදෙනවා දැකිය හැකි බව Steve මහතා වැඩිදුරටත් පැවසුවේය.
මේ හේතුවෙන් ආරක්‍ෂක අංශ වලට දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීම දුෂ්කර කාර්යයක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ගෝලීය වශයෙන් සිදුවන දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ප්‍රමාණය කුඩා වුවද එහි වර්ධනයක් දැකිය හැකි වීම ගැටලුකාරී තත්වයක් බව Steve මහතා පැවසුවේය.
මේ හේතුවෙන් ආරක්‍ෂක අංශ සැලකිලිමත්ව කටයුතු කල යුතු බව ඔහු අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු නවසීලන්තයේ Christchurch නුවර පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුලදී පුද්ගලයින් 51ක් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟම දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව ඔස්ට්‍රේලියාව පුරා අවධානය යොමු වෙමින් පවතියි.
එසේම පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පවසා සිටියේ දේශීය වශයෙන් දක්ෂිණාංශික අන්තවාදීන් ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදෙන බව ඔවුන්ගේ අවධානයට යොමු වී ඇති බවත් එම ක්‍රියාකාරකම් වඩ වඩාත් “සාමූහික හා සංවිධානාත්මක” වන බවත්ය.
මෙය ඔස්ට්‍රේලියාව මුහුණ දෙන නව ආරක්‍ෂක තර්ජනයක් නොවුනද වර්තමානයේදී ත්‍රස්ත ක්‍රියාකාරකම් වල යෙදෙන දක්ෂිණාංශික අන්තවාදීන් අතීතයට වඩා සංවිධානාත්මක හා සංකීරණ බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වෙයි.
අනාගතයෙදී ඔස්ට්‍රේලියාව තුල දක්ෂිණාංශික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වුවහොත් එය බොහෝ දුරට තනි පුද්ගලයෙකු හෝ කුඩා කණ්ඩායමක් විසින් මෙහෙයවනු ඇති බව වාර්තාවෙහි සඳහන් වෙයි. එසේම සංකීර්ණ ආයුධ යොදාගත් ත්‍රස්ත ප්‍රහාරයක් වුවද සිදු විය හැකි බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීමට රජය තවත් උත්සාහ කල යුතු බවට චෝදනා
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින තත්වයන් හේතුවෙන් දක්ෂිණාංශික අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීමට රජය තව තවත් කටයුතු කල යුතු බව කම්කරු පක්ෂයේ මතයයි. එසේම මෙම ආරක්‍ෂක තර්ජනයට ඔස්ට්‍රේලියාව තුල වැදගත් ස්ථානයක් හිමිව නොමැති බව කම්කරු පාක්ෂික මන්ත්‍රී Ed Husic මහතා පාර්ලිමේන්තුව අමතමින් මීට පෙරදී පැවසුවේය.
2018-19 කාල වකවානුව තුලදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය ත්‍රස්ත ප්‍රහාර මැඩපැවැත්වීම අරමුණු කරගත් විමර්ශන 12,478ක් සිදු කර ඇති අතර මේ තුලින් ඔස්ට්‍රේලියාව තුල සිදු කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාර 3ක් වැළැක්වීමට ඔවුන් සමත් වී ඇති බව සඳහන් වෙයි.

ත්‍රස්තවාදී ක්‍රියා වල වත්මන් තත්වය
පසුගිය වසර තුලදී ගෝලීය වශයෙන් සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව අඩු වීමට ප්‍රධාන සාධක දෙකක් බලපා ඇති බව Institute for Economics & Peace ආයතනයේ විධායක සභාපති Steve Killelea මහතා පැවසුවේය.
ISIL ත්‍රස්ත සංවිධානයේ විනාශය හා ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් සෝමාලියාවේ ක්‍රියාත්මක Al-Shabaab ත්‍රස්ත සංවිධානය දුර්වල වීම මෙම ප්‍රධාන සාධක දෙක බව Steve මහතා පවසයි.
මේ වන විට Taliban ත්‍රස්ත සංවිධානය ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානය බවට පත්ව ඇත. මෙම ස්ථානය මීට පෙරදී හිමිව තිබුණේ IS සංවිධානයට බව සඳහන්. එසේම Taliban ත්‍රස්ත සංවිධානය වගකිව යුතු මරණ සංඛ්‍යාව 71%කින් වර්ධනය වී ඇති බවද වාර්තා වෙයි.
2018 වසරේදී වාර්තා වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදුවුනු ගෝලීය මරණ අතරින් 38%කට වගකිව යුත්තේ Taliban ත්‍රස්ත සංවිධානයයි.
එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදු වූ මරණ අතරින් 95%ක් සිදුවූයේ ප්‍රධාන සටන් කලාප තුල බව Steve මහතා පැවසුවේය.
SBS news ජාලය මගින් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කල හැකි ආකාර විමසූ විට Steve මහතා පවසා සිටියේ නව යුධ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයන් සැලකිලිමත්ව කටයුතු කල යුතු බවයි. එසේම නව යුධ කටයුතු ආරම්භ කරන ලෙසම එම යුධ කටයුතු ඉක්මනින් අවසන් කිරීම පිළිබඳවද පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ඔහු අවධාරණය කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා වල බලපෑම උග්‍රතම රටවල් දහය
1) ඇෆ්ගනිස්ථානය - Afghanistan
2) ඉරාකය - Iraq
3) නයිජීරියාව - Nigeria
4) සිරියාව - Syria
5) පකිස්ථානය - Pakistan
6) සෝමාලියාව - Somalia
7) ඉන්දියාව - India
8) යේමනය - Yemen
9) පිලිපීනය - Philippines
10) කොංගෝ රාජ්‍ය - The Democratic Republic of the Congo


