Highlights
- ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් කෙටි පණිවුඩ වංචා හඳුනා ගැනීමට, සොයා ගැනීමට සහ අවහිර කිරීමට අවශ්‍ය නව නීති අද (ජූලි 12) ලියාපදිංචි කළේය.
- මෙම නව නීති මගින් පාරිභෝගිකයින්ට වංචාවන්ට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් සැපයීම සිදුකරන බව ACMA සභාපතිනි Nerida O’Loughlin පැවසුවාය.
- Scamwatch දත්ත වලට අනුව, 2021 වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා SMS වංචා වලින් මුල්‍ය පාඩු 188% කින් වැඩි වී ඇත.
ඔස්ට්‍රේලියාවේ SMS හෙවත් කෙටි පණිවිඩ වංචාවලට එරෙහිව සටන් කිරීමට අදාළ නව නීති අද සිට බලාත්මක කර තිබේ.
ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය (ACMA) විසින් මෙම පියවර ගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ SMS වංචාවලට එරෙහිව නව නීති
ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය (ACMA) විසින් සන්නිවේදන සමාගම් සඳහා කෙටි පණිවුඩ වංචා හඳුනා ගැනීමට, සොයා ගැනීමට සහ අවහිර කිරීමට අවශ්‍ය නව නීති අද (ජූලි 12) ලියාපදිංචි කළේය.
SMS වංචා පැතිරීම සහ බලපෑම වැඩි වන බවට ලැබෙන පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය, සන්නිවේදන කර්මාන්තයේ ඉහළ මට්ටමේ ආයතන සමග සමීපව ක්‍රියා කරමින් මෙම ක්‍රියාවලිය දියත් කර තිබේ.
මෙම නව නීති මගින් පාරිභෝගිකයින්ට වංචාවන්ට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් සැපයීම සහ ඔස්ට්‍රේලියාව වංචාකරුවන් සඳහා ඉතා අපහසු ඉලක්කයක් බවට පත් කිරීම සිදුකරන බව ACMA සභාපතිනි Nerida O’Loughlin පැවසුවාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
“SMS වංචාවන් ඉතා සංකීර්ණ විය හැකි අතර වින්දිතයින් සඳහා විනාශකාරී මුල්‍ය හා මානසික බලපෑම් ඇති කළ හැකියි. ඇතැම් අවස්ථාවලදී, වංචාකරුවන්ට පුද්ගලයෙකු ජීවිත කාලය පුරා ඉතිරි කළ ඉතුරුම් ලබා ගත හැකි අතර ඒ හරහා අදාළ පුද්ගලයාට බරපතල දුක්ඛිත තත්ත්වයන් ඇති කළ හැකියි." යනුවෙන් ඇය සඳහන් කළාය.
දුරකතනය වැනි පුද්ගලයින්ගේ සමාජ සහ ආර්ථික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන උපාංගවලට ලැබෙන නිසා මෙම වංචා පණිවිඩ ඕස්ට්‍රේලියානුවන් දැඩි ලෙස කලකිරීමට පත් කරන බව ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය පවසයි.
සෑම ඔස්ට්‍රේලියානු වැඩිහිටියෙකුම සහ ව්‍යාපාරිකයෙකුම පාහේ මෙහි බලපෑමට ලක්ව ඇති බව ACMA සභාපතිනි Nerida O’Loughlin පැවසුවාය.
මෙම නීති යටතේ, SMS වංචා කල්තියා කළමනාකරණය කිරීමට සහ වාර්තා කිරීමට, වෙනත් සන්නිවේදන සමාගම් සමඟ වංචා පණිවිඩ පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට සහ හඳුනාගත් වංචා, බලධාරීන්ට වාර්තා කිරීමට තම ගනුදෙනුකරුවන්ට සහාය වීමට සන්නිවේදන සමාගම් විසින් තොරතුරු ප්‍රකාශයට පත් කළ යුතුය.
SMS සහ අනන්‍යතා සොරකම් කිරීමේ දුරකථන වංචාවලට එරෙහිව සටන් කිරීම ACMA හි ප්‍රමුඛතාවයක් වන අතර, නව ක්‍රියාවලියට අනුකූල නොවීම සහ ACMA උපදෙස් කඩ කිරීම සිදු කළහොත් අදාළ සන්නිවේදන සමාගම් හට ඩොලර් 250,000 දක්වා දඩයකට මුහුණ දීමට සිදුවේ.

ඔස්ට්‍රේලියාවේ SMS වංචා
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ Scamwatch දත්ත වලට අනුව, 2021 වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා SMS වංචා වලින් මුල්‍ය පාඩු 188% කින් වැඩි වී ඇත. එය මුදල් ප්‍රමාණයෙන් ගත් කළ ඩොලර් මිලියන 2.3 සිට ඩොලර් මිලියන 6.5 දක්වා ඉහළ යාමකි.
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සියලුම වංචාවලින් 32% ක් පමණ SMS වංචාවන් වේ.
මෙවැනි වංචා සම්පුර්ණයෙන් නැවැත්වීමට නිශ්චිත ක්‍රමයක් නොමැති නමුත් බලාත්මක කළ හැකි නීති සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවත් අවහිර කරන ලද සෑම වංචාවක්ම පාරිභෝගිකයින් සඳහා ජයග්‍රහණයක් බවත් ACMA සභාපතිනි Nerida O’Loughlin පැවසුවාය.
එය අපහසු වන තරමට ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කිරීමට වංචාකරුවන්ට ඇති ඉඩකඩ අඩු බවත් ඇය අවධාරණය කළාය.
මෙම වංචා SMS ඉලක්ක කර ගැනීමේ ක්‍රියාව, වංචා ඇමතුම්වලට මුහුණ දුන් 2020 වසරේ ක්‍රියාත්මක කළ ක්‍රමයේ සාර්ථකත්වය මත ගොඩනැගෙන බව ද ඇය පැවසුවාය.
Reducing Scam Calls ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පළමු මාස 16 තුළ, ඔස්ට්‍රේලියානු දුරකථන අංකවලට ලැබෙන වංචා ඇමතුම් මිලියන 549 කට අධික ප්‍රමාණයක් අවහිර කර ඇති බව සන්නිව්දන සමාගම් වාර්තා කළ අතර, වංචා ඇමතුම් පැමිණිලිවල විශාල පහත වැටීමක් සිදුවී තිබේ.
ඔබ වංචාවට ලක්ව ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම ඔබේ බැංකුව සහ දුරකථන සමාගම අමතා එය Scamwatch වෙත වාර්තා කරන්න.
ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කර ඇත්නම් IDCARE අමතන්න.

