ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවසරයකින් තොරව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාර සඳහා යාමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැන් අවසර ලබාදී තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Highlights
- විදෙස් රටක සිට යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක් ලබා තිබිය යුතුය.
- ඉදිරි මාස දෙක තුළ විදේශගත වන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම අමතර ලියකියවිලි කිහිපයක් සූදානම් කරගත යුතුය.
- COVID-19 වයිරසය සඳහා ධනාත්මක බව සනාථ වූ ඕනෑම අයෙකු සහ ඔවුන්ගේ සමීපතම සාමාජිකයින් ගුවන් තොටුපළට නොයා යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩිව නිර්දේශ කරයි.
විදෙස් සංචාර සඳහා යා හැක්කේ කා හටද?
පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට පමණක් විදෙස් සංචාර සඳහා යාමට අවසර ලැබේ.
අවුරුදු 12ට අඩු ළමුන් සහ සෞඛ්‍ය හේතූන් මත කොවිඩ් එන්නත ලබාගත නොහැකි අය හැර කොවිඩ් එන්නත නොලද ඔස්ට්‍රේලියානුවන් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට Travel Exemption හෙවත් සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කළ යුතුය.
ඔස්ට්‍රේලියානුවන් මෙම අදියරේදී විදෙස් සංචාර සඳහා යාමට පෙර කොවිඩ් බූස්ටර් එන්නතක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
Image
ඔස්ට්‍රේලියාව පිළිගත් කොවිඩ් එන්නත් මොනවාද?
විදෙස් රටක සිට යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක් ලබා තිබිය යුතුය.
දැනට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පහත කොවිඩ් එන්නත් වර්ග අනුමත කර හෝ පිළිගෙන තිබේ.
- AstraZeneca
- Pfizer
- Moderna
- Sinovac
- Covaxin
- BBIBP-CorV (Sinopharm)
ඔබ සංචාරය කිරීමට පෙර අවසාන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා අවම වශයෙන් දින හතක් ගත වී තිබිය යුතුය.
ලොව අනෙකුත් කොවිඩ් එන්නත් වර්ග පිළිබඳවද ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විමසා බලමින් සිටින අතර ඒ පිළිබද නවතම තොරතුරු එහි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
සංචාරය කළ හැකි රටවල් මොනවාද?
කොවිඩ් පිළිබඳ අවදානම් තත්ත්වය නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතින නමුත් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, තායිලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය, ජර්මනිය, සිංගප්පූරුව, ආර්ජන්ටිනාව සහ චිලී රාජ්‍යය යන රටවලට ඔස්ට්‍රේලියානුවන්ට සංචාරය කළ හැකිය.
ඊට අමතරව මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී සිට ෆිජි, ඉන්දුනීසියාව සහ දකුණු කොරියවටද සංචාරය කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට බොහෝ දුරට හැකියාව ලැබෙනු ඇත.
එමෙන්ම ජපානය සහ ඉන්දියාව ද එම ලැයිස්තුවට නුදුරේදීම ඇතුලත්වනු ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධව නවතම තොරතුරු දැනගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Smartraveller වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට කළ යුත්තේ කුමක්ද?
ඔබ ඉදිරි මාස දෙක තුළ විදේශගත වන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම අමතර ලියකියවිලි කිහිපයක් යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියානු සංචාරක නියෝජිත සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී Dean Long පැවසීය.
වලංගු විදේශ ගමන් බලපත්‍රයක්, ගුවන් ටිකට් පතක් සහ ඔබ සංචාරය කරන රටෙහි විදේශ ගමන් බලපත්‍රය හෝ වීසා බලපත්‍රයට අමතරව, ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටවීමේදී පහත ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත.
01. කොවිඩ් එන්නත ලබාගත් බවට සාක්ෂි
ඔබ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද අයෙකු බවට සනාථ කිරීම සඳහා ඔබට ජාත්‍යන්තර COVID-19 එන්නත් සහතිකයක් (ICVC) ගුවන් තොටුපලේ check-in කාර්ය මණ්ඩලයට පෙන්වීමට අවශ්‍ය වනු ඇත.
ඔබට මෙම සහතිකය MyGov ගිණුම හරහා ඔබේ Medicare Online ගිණුමෙන් හෝ Express Medicare Mobile app එක මගින් ලබාගත හැකිය.
එය ලබාගන්නා සවිස්තරාත්මක ආකාරය Services Australia වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
02. Travel exemption හෙවත් සංචාරය සඳහා නිදහස් කිරීමේ සාක්ෂි
ඔබ කොවිඩ් එන්නත ලබානොගත් පුද්ගලයෙකු නම් මෙය ලබාගත යුතුය.
03. ඍණාත්මක PCR ප්‍රතිඵලයක්
ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටවන විට ඍණාත්මක PCR ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන නමුත් Qantas වැනි ඇතැම් ප්‍රධාන ගුවන් සේවා විසින් එය ඉල්ලීමට හැකිය.
එසේ වුවහොත් ඔබ ගුවන් යානයට ඇතුළු වීමට පෙර ඍණාත්මක PCR ප්‍රතිඵලයක් පෙන්විය යුතුය.
වෙනත් රටවලට ඇතුළු වීමට ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද?
lockdown කිරීම්වලින් නිදහස් කිරීමෙන් පසුව විදේශීය සංචාරකයින්ට ඇතුළු වීමට ඉඩ දීමේදී විවිධ රටවල් විවිධ කොන්දේසි පනවා තිබේ.
උදාහරණයක් ලෙස, එක්සත් රාජධානිය දැනට ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් පිටවීමට පෙර එක්සත් රාජධානියේ PCR පරීක්ෂණයක් වෙන්කරවා ගැනීම අවශ්‍ය කරයි.
ලෝකයේ කොවිඩ් තත්ත්වය දිනෙන් දින වෙනස් වන බැවින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Smartraveller වෙබ් අඩවිය හරහා ඒ පිළිබඳ නිවැරදි හා නවතම තොරතුරු දැනගැනීමට හැකිය.

PCR පරීක්ෂණයක් යනු කුමක්ද?
PCR යන්නෙන් අදහස් කෙරෙන්නේ polymerase chain reaction ය.
PCR පරීක්ෂණය ඔබ COVID-19 වයිරසයට ධනාත්මක හෝ සෘණාත්මකද යන්න තීරණය කිරීමට වඩාත් විශ්වාසදායක ක්‍රමයක් ලෙස ලොව පුරා පුළුල්ව සැලකේ.
ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටවන විට ඍණාත්මක PCR ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන නමුත් Qantas වැනි ඇතැම් ප්‍රධාන ගුවන් සේවා විසින් එය ඉල්ලීමට හැකිය.
COVID-19 වයිරසයට ධනාත්මක හෝ සෘණාත්මකද යන්න තීරණය කිරීම සඳහා Rapid Antigen Tests (RATs) සහ serology පරීක්ෂණ ද පැවැත්විය හැකිය.
ඒවා එතරම් නිවැරදි නොවන අතර එම නිසා ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ඒවායේ ප්‍රතිඵල පිළිගනු නොලැබේ.
විදෙස් සංචාරයක් යන ඔබ PCR පරීක්ෂණයක් කළ යුත්තේ කෙදිනද?
ඔබේ ගුවන් යානය පිටත් වීමට දින 3 කට පෙර ඔබට PCR පරීක්ෂණයක් කරගත හැකිය.
බොහෝ අවස්ථාවල ඒවායේ ප්‍රතිඵල පැය 24 ක් ඇතුළත ලබාදේ.
ඔබගේ PCR පරීක්ෂණයෙන් පසු ඔබට කොවිඩ් වයිරසය ආසාදනය වීමේ සම්භාවිතාව අවම කර ගැනීම සඳහා, පරීක්ෂණයෙන් පසු සහ ඔබ ගුවන් යානයට ගොඩවීමට පෙර වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධතා හැකිතාක් අවම කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කරයි.

ඔබ COVID-19 වයිරසයට ධනාත්මක නම් කුමක් කළ යුතුද?
COVID-19 වයිරසය සඳහා ධනාත්මක බව සනාථ වූ ඕනෑම අයෙකු සහ ඔවුන්ගේ සමීපතම සාමාජිකයින් ගුවන් තොටුපළට නොයා යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩිව නිර්දේශ කරයි.
ඒ වෙනුවට, ඔබේ ගුවන් සේවය අමතා ඔබේ විදෙස් සංචාරය නැවත සැලසුම් කරගන්නා ලෙස රජය උපදෙස් දෙයි.
ගුවන් සමාගම ඔබගේ සංචාරය reschedule කරන්නේද නැතහොත් මුදල් ආපසු ලබා දෙනවාද යන්න ඔබ මිල දී ගෙන ඇති ගුවන් ටිකට් පතේ ඇති කොන්දේසි මත සම්පූර්ණයෙන්ම තීරණය කරනු ඇත.
ඔබ නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී
විදෙස් රටක සිට ඔබ ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමේදී මතක තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් ද තිබේ.
01. Australia Travel Declaration
ඔබ විදෙස් රටකින් ඔස්ට්‍රේලියාවට පිටත්වීමට අවම වශයෙන් පැය 72කට පෙර Australia Travel Declaration හෙවත් ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශ පත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.
02. ඍණාත්මක PCR ප්‍රතිඵල
ඔබ විදෙස් රටකින් ඔස්ට්‍රේලියාවට පිටත්වීමට අවම වශයෙන් පැය 72කට පෙර ඍණාත්මක PCR ප්‍රතිඵලයක් පෙන්විය යුතුය.
ඒ සඳහා පිළිගත් සහ වලංගු PCR පරීක්ෂණ පවත්වන මධ්‍යස්ථානයක් පමණක් භාවිතා කිරීමට ඔබ වග බලාගත යුතුය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් යානයකට ගොඩවීමට පෙර ඍණාත්මක PCR ප්‍රතිඵලයක් සැපයීම අනිවාර්ය වේ.
ගුවන් යානයේ ආසන වෙන් කර ඇති ආකාරය එක් ගුවන් සේවයකින් තවත් ගුවන් සේවයකට වෙනස් වේ.
නමුත් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපලවල සහ බොහෝ ප්‍රධාන ගුවන් සේවාවන්හි ගුවන් යානා තුළ සිටින විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
මුව ආවරණ සහ ආසන සම්බන්ධයෙන් වැඩි විස්තර දන ගැනීම සඳහා ඔබේ ගුවන් සමාගම අමතන්න.

ඔබට විදෙස් රටකදී කොවිඩ් ආසාදනය වුවහොත්?
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවශ්‍යතා අනුව, ඔබ ඔස්ට්‍රේලියාවට ගුවන් යානයකට ගොඩවීමට පෙර අදාළ රටේ පිළිගත් සහ වලංගු PCR පරීක්ෂණ පවත්වන මධ්‍යස්ථානයකින් සිදුකරගත් PCR පරීක්ෂණයක ඍණාත්මක ප්‍රතිඵල පෙන්විය යුතුවේ.
"ඔබ විදේශගතව සිටින විට ඔබට කොවිඩ් වැළඳුනහොත්, ඔබ ඔවුන්ගේ සෞඛ්‍ය නියෝග පිළිපැදිය යුතුය, එබැවින් ඔබට කළ හැකි දේ එම රටෙහි නීති අනුව වෙනස් වනු ඇත. ඔබ සංචාරක නියෝජිතයෙකු හෝ සංචාරක ව්‍යාපාරයක් හරහා පැමිණියේ නම් ඔබට සහාය වීමට ඔවුන්ට හැකි වනු ඇත." යනුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරක නියෝජිත සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී Dean Long පැවසීය.
සංචාරක රක්ෂණයක් ලබා ගැනීම සුදුසුද?
විදේශ ගතවන සියලුම ඔස්ට්‍රේලියානුවන් ජාත්‍යන්තර සංචාරවල හටගන්නා හදිසි අවස්ථා වලදී තමන්ව ආවරණය කිරීම සඳහා පුළුල් සංචාරක රක්ෂණයක් ලබා ගත යුතු බව Smartraveller වෙබ් අඩවිය තරයේ නිර්දේශ කරයි.
ඇතැම් සමාගම් සීමිත COVID-19 ආවරණයක් ලබා දෙයි.
එහිදී එමගින් වෛද්‍ය වියදම්, නිරෝධායන වියදම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් හා සම්බන්ධ අනෙකුත් වියදම් ආවරණය කළ හැකිය.
නමුත් එම රක්ෂණ මගින් ඔස්ට්‍රේලියාවේ හෝ ඉන් ඔබ්බෙහි රජයේ ප්‍රතිපත්ති සහ සංචාරක තහනම් කිරීම් හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් හා සම්බන්ධ වියදම් ආවරණය නොකරනු ඇත.
සංචාරක රක්ෂණයක් සඳහා ලියාපදිංචි වීමට පෙර ඔබ එහි disclosure statement පරීක්ෂා කිරීමට වග බලා ගන්න.
එහිදී සංචාරකයින් තම රක්ෂණ සමාගම සමඟ සාකච්ඡා කර තම සංචාරක රක්ෂණයට අදාළ කොන්දේසි පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම වැදගත් බව ඔස්ට්‍රේලියානු සංචාරක නියෝජිත සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී Dean Long පැවසීය.

