වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම, මුහුදු ජල මට්ටම ඉහළ යාම සහ අයිස් තට්ටු දිය වීම අන් කවරදාටත් වඩා වේගයෙන් සිදුවීම හේතුවෙන් දේශගුණික විපර්යාස සිදුවීමේ වේගය වර්ධනය වී ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
දේශගුණික විපර්යාස හා එහි බලපෑම පිළිබඳව නවතම වාර්තාවක්
දේශගුණික විපර්යාස මැඩලීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමුළුවට දේශගුණික විපර්යාස හා එහි බලපෑම පිළිබඳව වාර්තාවක් පිළියෙල කිරීමට World Meteorological Organisation (WMO) හෙවත් ගෝලීය කාළගුණ විද්‍යා සංවිධානය බැඳී සිටියි. ඔවුන් මේ හේතුවෙන් ලොව අධිකම උෂ්ණත්වයක් වාර්තාවූ වසර වන 2015 - 2019 වසර අලලා සිය වාර්තාව පිළියෙල කර ඇත.
කාර්මික විප්ලවයට පෙර පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් 1.1කින් වැඩිවී ඇති බවත් වසර 2011 - 2015 යන කාල තුලදී පෘතුවියේ උෂ්ණත්වය වාර්ශිකව සෙල්සියස් 0.2කින් වැඩිවී ඇති බවද වාර්තාවෙන් හෙලළිවෙයි.
එසේම වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් හා හරිතාගාර වායූ ප්‍රමාණය 2015 – 2019 වසර තුලදී සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව සනාථ කරනා දත්තද මෙම වාර්තාවෙහි අඩංගු වී තිබෙයි. 2019 වසර අවසානය වන විට දී මෙම අහිතකර වායූ ප්‍රමාණය මිලියනයකට කොටස් 410 ක් වනු ඇති බවට ද වාර්තාවෙහි සඳහන් වෙයි.
දේශගුණික විපර්යාසයන්හි බලපෑම
පසුගිය වසර පහ තුළදී මුහුදු ජල මට්ටම සාමාන්‍යයෙන් වසරකට මිලි මීටර 5 කින් පමණ ඉහළ ගොස් ඇති අතර සාපේක්ෂව බැලූ කල වසර 1993ත් - 2015ත් අතර කාලයේ දී මුහුදු ජල මට්ටම සාමාන්‍යයෙන් වසරකට මිලි මීටර 3.2කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ග්ලැසියර හා අයිස් තට්ටු දියවී යාම මෙම අහිතකර තත්වය ඇති වීමට හේතූවී ඇත.
එසේම වසර 2015ත් 2018ත් අතර වූ ශීත ඍතුවෙදී, ආක්ටික් මුහුදෙහි ඇති ස්වභාවික අයිස් තට්ටු ප්‍රමාණය වාර්ථාගත ලෙස අවමයක් විය.

ඔස්ට්‍රේලියාව තුලද මෑතකදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උද්ගතවූ දරුණු ලැව්ගිනි වලට මෙන්ම රට තුල ඇති නියඟ තත්වයන්ටද වගකිව යුත්තේ දේශගුණික විපර්යාස බව Climate Council of Australia සංවිධානයේ සාමාජිකයෙකු වන ආචාර්ය Martin Rice පැවසුවේය.
ගෝලීය කාලගුණ විද්‍යා සංවිධානයේ මහ ලේකම්තුමාගේ දැක්ම
WMO සංවිධානයේ මහ ලේකම් මෙන්ම දේශගුණික විපර්යාස මැඩලීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි විද්‍යා උපදේශක කණ්ඩායමෙහි සම සභාපති Petteri Taalas පවසනුයේ දේශගුණික විපර්යාස ඇතිවීම සඳහා බලපාන සාධක මෙන්ම එය සිදුවීමේ ප්‍රවණතාවය ඉතා සීඝ්‍රයෙන් ඉහල යන බවයි.
මුහුදු ජල මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති අතර ඇන්ටාක්ටික් හා ග්‍රීන්ලන්ත කලාපයේ අයිස් තට්ටු සීඝ්‍රයෙන් දිය වීම මෙම තත්වය වඩාත් හානිදායක කිරීමට බලපා ඇති බවද ඔහු පැවසුවේය.
මෙම වසර තුලදී මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා හා කලාපයේ ඇතිවෙන නිවර්තන කුණාටු හේතුවෙන් Bahamas හා Mozambique රාජ්‍යන් මානුෂීය හා ආර්ථික විපත්ති වලට භාජනය වෙනවා දැකීමට හැකි වූ බව Petteri මහතා පැවසුවේය.
එසේම දේශගුණික විපර්යාස මැඩලීම සඳහා මුහුණ දීමට සිදුවෙන අභියෝග “අතිමහත්” බව පැවසූ ඔහු කියා සිටියේ වෙනස් වන දේශගුණයට අනුවර්තනය වීමේ අවශ්‍යතාව මෙන්ම බලශක්ති නිෂ්පාදනය, කර්මාන්ත හා ප්‍රවාහන ක්ෂේස්ත්‍රයන් මගින් විමෝචනය කරනා හරිතාගාර වායු අවම කිරීමද මෙම අභියෝගයන්ගෙන් කිහිපයක් බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ගේ දැක්ම
දේශගුණික විපර්යාස මැඩලීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමුළු මෙවර කැඳවුනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතාය. මෙම සමුළුවට එක් වන රටවල් වලින් ඔහු ඉල්ලා සිටිනුයේ WMO සංවිධානයේ වාර්තාවට අවධානය යොමු කර තම තමන්ගේ රටවල් තුල දී දේශගුණික විපර්යාස මැඩලීම සඳහා පියවර ගන්නා ලෙසයි.
දේශගුණික විපර්යාස මැඩලීම සඳහා පැහැදිලි පියවර නො ගන්නා රටවල් මෙවර සමුළුව ඇමතීම Antonio මහතා වළක්වා තිබෙයි. මේ හේතුවෙන් මෙවර සමුළුව ඇමතීමට හැකියාව ලැබී ඇත්තේ රටවල් 63කට පමණි. ඔස්ට්‍රේලියාව ගල් අඟුරු කැණීම සඳහා සහය දක්වන රාජ්‍යක් ලෙස හඳුනාගෙන තිබීම නිසා මෙම සමුළුව ඇමතීමට තිබූ අවස්ථාව අහිමි වී ඇත.

දේශගුණික විපර්යාසයන්හි බලපෑම මැඩලීමට දැනට ගෙන ඇති පියවර
අන්තර්ජාතික පැරිස් ගිවිසුම යටතේ, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම පාලනය කිරීමට රටවල් කැප විය. මෙම ගිවිසුම තුලින් එම රටවල් ගෝලීය උෂ්ණත්වය වාර්ශිකව සෙල්සියස් අංශක දෙකකට නොඅඩු ප්‍රමාණයක තබා ගැනීමට එකඟ වූ අතර එය වාර්ශිකව සෙල්සියස් අංශක 1.5ක් බවට ගෙන ඒමට ද බලාපොරොත්තු වෙයි.
නමුත් වර්තමානයෙදී රජයන් අනුගමනය කරනා ප්‍රතිපත්ති දිගටම අනුගමනය කලහොත් ගෝලීය උෂ්ණත්වය වාර්ශිකව සෙල්සියස් අංශක 3 කින් වැඩි වෙනු ඇත.
එසේම දේශගුණික විපර්යාසයන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ලෝකය පුරා වෙසෙන පාසල් සිසුන් මිලියන සංඛ්‍යාවක් ගෝලීය උද්ඝෝෂණයක පසුගිය සිකුරාදා (20/09) යෙදුණි.



