විදුලියෙන් ධාවනය කරන මෝටර් රථ පදවන ඔස්ට්‍රේලියානුවාසී රියදුරන් හට තම විදුලි මෝටර් රථ recharge කිරීම හෙවත් නැවත ආරෝපණය කිරීම නුදුරේදීම ඉතා පහසු වනු ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාව තුළ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ නැවත ආරෝපණය කිරීම සඳහා වන ආරෝපණ මධ්‍යස්ථාන (charging stations) පිහිටුවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 15 ක මුදලක් වෙන් කිරීම ඊට හේතුව වේ.

නව විදුලි ආරෝපණ මධ්‍යස්ථාන
මේ පිළිබඳ නිල නිවේදනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍ය Angus Taylor විසින් පසුගිය සතියේදී සිදු කරන ලදී.
මෙම නව විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ඔස්ට්‍රේලියාව තුළ ඇති ප්‍රධානතම මහා මාර්ග දෙපස ඉදිකිරීමට රජය අපේක්ෂා කරයි.
මෙහි පළමු පියවර ලෙස බ්‍රිස්බේන් නුවර පළමු විදුලි ආරෝපණ මධ්‍යස්ථානය ඉදිකිරීම දැක්විය හැකිය.
පළමු අදියර යටතේ ඔස්ට්‍රේලියාව පුරා මෙවැනි ශීග්‍රගාමී විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 42ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ
විදුලියෙන් ධාවනය කෙරෙන මෝටර් රථ සඳහා ලිබරල් සන්ධාන රජය විශේෂයෙන් සහයෝගය ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
ඉහත ශීග්‍රගාමී විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සම්බන්ධ 350 kW ක් වූ අති වේගවත් ආරෝපණය හේතුවෙන් මිනිත්තු 15 ක ආරෝපණ කාලයකින් අනතුරුව කිලෝ මීටර් 100 ක් දක්වා දුරක් ඉතා පහසුවෙන් ධාවනය කළ හැකි බව වාර්තා වේ.
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ භාවිතයට රියදුරන් කැමති නමුත් ඒවා ආරෝපණය කරගැනීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම එම මාදිලියේ මෝටර් රථ භාවිතය අඩු වීමට ප්‍රධාන හේතුව වී තිබේ.
නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නව ව්‍යාපෘතිය හේතුවෙන් විදුලියෙන් ධාවනය වන මෝටර් රථ භාවිතය වඩාත් ජනප්‍රිය වනු ඇති බව විශ්වාස කෙරේ.
කෙසේවෙතත්, දේශගුණික විපර්යාස මැඩලීම හමුවේ ඔස්ට්‍රේලියාව වසර 2030 වන විට සැලකිය යුතු කාබන් විමෝචන ප්‍රතිශතයක් අවම කළ යුතුව ඇත.
ඒ සඳහා මේ වන විටත් රජය විවිධ විකල්ප සොයමින් සිටියි.


