කොරෝනා වයිරසයේ බලපෑම නිසා එළඹෙන ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
එසේ වුවහොත් වසංගත රෝගයක් හේතුවෙන් ඔලිම්පික් උළෙලක් අවලංගු කළ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වනු ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ පිළිබඳ අවසන් තීරණය එළඹෙන මැයි මාසයේදී ගැනීමට බලාපොරොත්තු වේ.

ඔලිම්පික් උළෙල අවලංගු කිරීමේ ඉහළ සම්භාවිතාවක්
කොරෝනා වයිරසයේ පැතිරීම ක්‍රමිකව බරපතල වුවහොත් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට එහි සංවිධායකයින් බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පැවසූ බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එය කල් දමනවාට හෝ වෙනත් රටකට ගෙන යනවාට වඩා අවලංගු කිරීමට ඉඩ ඇති බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
2020 ඔලිම්පික් උළෙල සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පිරිස් වල පුහුණුවීම් ද මේ වන විට අත්හිටුවා ඇති බව සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක Toshiro Muto පවසයි.
පසුගිය ජනවාරි මාසයේ පටන් ඇරඹි මෙම කොරෝනා වයිරසය පැතිර යාම මේ වන විට ලෝකය පුරා බරපතල සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වී තිබේ.

2020 ඔලිම්පික් උළෙල කල් දැමීමට හෝ වෙනත් රටකට ගෙන යාමට නොහැකි ඇයි?
ඔලිම්පික් උළෙල යනු මෙලොව දැනට ක්‍රියාත්මක වන විශාලතම ක්‍රීඩා උළෙල වේ.
එවැනි වූ දැවැන්ත ක්‍රීඩා උළෙලක් කල් දැමීමට හෝ වෙනත් රටකට ගෙන යාමට නොහැකි ප්‍රධාන හේතු කිහිපයක් පවතින බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.
විශාල රටවල් සංඛ්‍යාවක් සහභාගී වීම, ඒ ඒ රටවල විවිධ දේශගුණික තත්ත්වයන් පැවතීම, ඒ ඒ රටවල වෙන වෙනම ක්‍රීඩා කාලසටහන් ක්‍රියාත්මක වීම, කලින් තීන්දු කළ රූපවාහිනී කාල සටහන් ක්‍රියාත්මක වීම වැනි හේතු මත ඔලිම්පික් උළෙල කල් දැමීමට නොහැකි බව ඔවුහු පවසති.
එමෙන්ම මේ සම්බන්ධව ඇති විශාල වියදමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔලිම්පික් උළෙලේ නිල මාධ්‍ය අයිතිය NBC ඇමෙරිකානු රූපවාහිනී ආයතනය සතු වන අතර ඔවුන් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.38 ක් 2011 වසරේදී ගෙවා ඇතිබව වාර්තා වේ.
එමෙන්ම ටෝකියෝ නුවර පවත්වන්නට යෙදෙන ඔලිම්පික් උළෙල වෙනත් රටක පැවැත්වීමට ගෙන යාම ඉතා අපහසු කටයුත්තක් බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.
ඔලිම්පික් උළෙලක් සඳහා වෙනමම සූදානම් කළ ක්‍රීඩාංගන, පිහිනුම් තටාක, ක්‍රීඩකයින්ට නවාතැන් පහසුකම් සපයන ඔලිම්පික් ගම්මාන, වෛද්‍ය මධ්‍යස්ථාන වැනි බොහෝ අංග සූදානම් කළ යුතු වේ.
ජපානයේ මේ වන විට මේ සියල්ල නිම වෙමින් පවතින අතර වෙනත් රටකට ඔලිම්පික් උළෙල ගෙන යාමේදී ඒවා මුල සිටම සූදානම් කළ යුතු වේ.
එය බැරෑරුම් කටයුත්තක් බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල
2020 ඔලිම්පික් උළෙල ජූලි මස 24 වන දින සිට අගෝස්තු 09 වන දින තෙක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා රවටල් 200 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව සිටී.
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල පිරිවැය ඩොලර් බිලියන 12.6 ක් ලෙස ගණන් බලා ඇත.
මෙවර ඔලිම්පික් උළෙල නැරඹීම සඳහා සංචාරකයින් 600,000 ක් පමණ ජපානයට පැමිණෙනු ඇතැයි මීට පෙර අපේක්ෂා කර තිබුණි.


