කොරෝනා වයිරසය හමුවේ ආර්ථික පීඩාවට පත්වන පුද්ගලයින්ට සහන සලසන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තුන්වන සහන පැකේජය මාර්තු 30 වන දින ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් ඉදිරිපත් කරන ලදී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහි මූලික වටිනාකම ඩොලර් බිලියන 130 ක් වන බව ඔහු පැවසීය.

තුන්වන සහන පැකේජය
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවන්ට පත් සමාගම් සහ ව්‍යාපාර වල සේවකයින් හට $1500 ක දීමනාවක් ලබා දීමට මෙම තුන්වන සහන පැකේජය හරහා ලබා දෙයි.
එම දීමනාව "job keeper" දීමනාව ලෙස හැඳින්වේ.
දෙසතියකට වරක් මෙම $1500 ක වැටුප් සහන දීමනාව ලබා දෙන බව වාර්තා වේ.
මෙම මුදල් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය හරහා අදාළ සමාගම් හා ව්‍යාපාර වෙත ගෙවනු ලබන අතර පසුව ඔවුන් ඔවුන්ගේ සේවකයින්ට එම මුදල් ගෙවිය යුතු වේ.

මෙය සේවකයින්ට ලැබෙන අයුරු
පූර්ණ කාලීන, අර්ධ කාලීන සේවකයින්ට මෙන්ම ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට ද මෙම $1500 ක වැටුප් සහන දීමනාව ලබාගත හැකි බව මධ්‍යම රජය පවසයි.
නමුත් මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් එකම සමාගමකට හෝ ව්‍යාපාරයකට සේවය කරන අනියම් සේවකයින්ට (casual) ද මෙම දීමනාව ලබාගත හැකිය.
ඔබ දෙසතියකට $1500 කට වඩා වැඩියෙන් උපයනවානම් සහ තවමත් සේවයේ යෙදේ නම් මෙම $1500 ක වැටුප් සහන දීමනාව සමග ඔබට නොකඩවා ඔබගේ සාමාන්‍ය වැටුප ලැබෙනු ඇත.
ඔබ දෙසතියකට $1500 කට වඩා අඩුවෙන් උපයනවා නම් සහ තවමත් සේවයේ යෙදේ නම් ඔබගේ සේවායෝජකයා (employer) ඔබට දෙසතියකට $1500 ක් ගෙවිය යුතුය.
ඔබව මෙම අර්බුදය නිසා රැකියාවෙන් ඉවත් කළා නම් ඔබගේ සේවායෝජකයා (employer) ඔබට දෙසතියකට $1500 ක් ගෙවිය යුතුය.
ඔබ මාර්තු 01 වන දින සිට යම් රැකියාවකට අනියුක්ත කර සේවය ආරම්භ කළ නමුත් මෙම කොරෝනා අර්බුදය හමුවේ ඔබගේ රැකියාව අහිමිවූවානම් ඔබව නැවත සේවයේ පිහිටුවන ලෙස ඔබගේ සේවායෝජකයා සමග සාකච්ඡා කර ඔබට දෙසතියකට $1500 ක මුදල ලබා ගත හැකිය.

මෙය ව්‍යාපාර සඳහා බලපාන්නේ කෙසේද?
පසුගිය වසරේ මේ කාලය හා සසඳන කළ තම ආදායමෙන් 30% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමිවුවා යයි සනාථ කරන ඩොලර් බිලියනයකට වඩා අඩු පිරිවැටුමක් සහිත සමාගම් වෙත මෙම සහනය ලබා ගත හැකිය.
එමෙන්ම පසුගිය වසරේ මේ කාලය හා සසඳන කළ තම ආදායමෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමිවුවා යයි සනාථ කරන ඩොලර් බිලියනයකට වඩා වැඩි පිරිවැටුමක් සහිත සමාගම් වෙත ද මෙම සහනය ලබා ගත හැකිය.
මාර්තු 01 වන දින සිට සේවා නියුක්තියේ සිටි සේවකයින්ට පවා මෙම සහන දීමනාව අදාළ වේ.
මෙය ලබාගැනීමට කැමති ව්‍යාපාර වලට දැන් ඒ සඳහා ato.gov.au යන ඔස්ට්‍රේලියානු බදු කාර්යාල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය.
මාර්තු 30 වන දිනට backdate කර පළමු ගෙවීම මැයි මස පළමු සතියේදී ලබා දෙනු ඇත.
මෙය මාස තුනකදී අධීක්ෂණය කෙරෙන අතර මාස 6 ක් දක්වා ක්‍රියාත්මක කෙරේ.

මෙම $1500 වැටුප් සහන දීමනාව ලැබීමට සුදුසු කවුරුන්ද?
මෙම $1500 වැටුප් සහන දීමනාව ලබා ගැනීමට පහත සඳහන් ඛාණ්ඩ වල අයට හැකිය.
- ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම.
- ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකු වීම.
- ඔස්ට්‍රේලියාවේ සුබ සාධන දීමනා ලැබීමට සුදුසුකම් නොලැබූ ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා යටතේ රැකියා කරන නවසීලන්ත ජාතිකයන්.
- Protected Special Category වීසා හිමියන්
- වසර 10 ක් හෝ ඊට වැඩි කාලයක් නොකඩවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින Non-protected Special Category වීසා හිමියන්
ජාත්‍යන්තර සිසුන් ඇතුළු ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට හිමිකම් ඇති සියලු තාවකාලික වීසා හිමියන්ට මෙම $1500 වැටුප් සහන දීමනාව නොලැබෙන බව මධ්‍යම රජය පවසයි.
නමුත් ඒ පිළිබඳ අවධානය යොමුකර ඇති බව අගමැති මොරිසන් මාර්තු 30 වන දින ප්‍රකාශ කළේය.


