ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ගැලපෙන රැකියා සොයා දීමේ වැඩපිළිවෙල වැඩි දියුණු කළහොත් සෑම වසරකම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 6 ක දායකත්වයක් ලැබෙනු ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ස්වාධීන ආයතනයක් වන Bankwest Curtin ආර්ථික මධ්‍යස්ථානය විසින් එළිදැක්වූ නවතම වාර්තාවෙන් මෙය යෝජනා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට සුදුසු රැකියා ප්‍රවර්ධනය කිරීම
සංක්‍රමණිකයින්ගේ නිපුණතා වලට සරිලන රැකියා ඔස්ට්‍රේලියාව තුළ සොයාගැනීමට සහය වීම හරහා මෙම ආර්ථික ප්‍රතිලාභය විශාල ලෙස ලබාගත හැකි බව Bankwest Curtin ආර්ථික මධ්‍යස්ථානය පවසයි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් තම මව් රටවල යම් යම් ක්ෂේත්‍ර සඳහා ඉහළ නිපුණතාවක් දක්වන පිරිස් වන අතර එම නිපුණතා වලට සමාන රැකියාවක් ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ට සොයාගැනීමට සහය වීමෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට බිලියන ගණනක ආර්ථික ප්‍රතිලාභයක් භුක්ති විඳිය හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.
ඉංග්‍රීසි නොවන පසුබිමකින් පැමිණි සංක්‍රමණිකයින්ගෙන් 35% ක් පමණ පිරිසක් තමන්ගේ සුදුසුකම් වලට වඩා අඩු සුදුසුකම් වලින් හෙබි රැකියා ඔස්ට්‍රේලියාව තුළ සිදුකරන බව එම වාර්තාවේ සම කර්තෘ මහාචාර්ය Alan Duncan පවසයි.
සංක්‍රමණිකයින්ගෙන් සැදි රටක් ලෙස ඔස්ට්‍රේලියාව සතුව නිපුණතාවෙන් යුතු විශාල මිනිස් ශ්‍රමයක් ඇති බැවින් එයින් උපරිම ඵල නෙලාගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
පසුගිය 2016 වසරේ සිදුකළ ඔස්ට්‍රේලියාවේ අවසන් ජන සංගණනයට අනුව ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන ඔස්ට්‍රේලියාවෙන් පිටත රටක උපත ලැබූ පිරිස මිලියන 6.2 කට ආසන්නය.
ඒ අනුව එම පිරිසෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නිපුණතා සංක්‍රමණිකයින් බව කිව හැකිය.
එනිසා අනාගත ගෝලීය ආර්ථිකය ජයගැනීමට ඔස්ට්‍රේලියාව තම නිපුණතා සංක්‍රමණිකයින්ගෙන් මීට වඩා ඵල නෙලාගත යුතු බව මහාචාර්ය Alan Duncan පවසයි.

නිපුණතාවට සරිලන රැකියාවක්
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහොමයක් සංක්‍රමණිකයින් හට තම නිපුණතාවට සරිලන රැකියාවක් සොයාගැනීම ඉතා අසීරු වෙයි.
තමන්ගේ මව් රටේ කොපමණ සේවා පළපුරුද්දක් හෝ අධ්‍යාපන සුදුසුකම් තිබුණද බොහෝ විට ඔවුන්ට තමන්ගේ හැකියාවට සුදුසු රැකියාවක් සොයාගැනීමට දීර්ග කාලයක් බලා සිටීමට සිදුවේ.
විශේෂයෙන්ම ස්ථිර පදිංචිය ලබා පැමිණෙන සංක්‍රමණිකයින්ට මෙන්ම උසස් අධ්‍යාපනය ලබා ඔස්ට්‍රේලියාව තුළම සිට ස්ථිර පදිංචිය ලබාගත් ජාත්‍යන්තර සිසුන්ට මෙම අසීරු අභියෝගයට මුහුණ දීමට බහුලව සිදුවේ.
මේ තත්ත්වය නිසා ඔවුන්ට බොහෝ විට තමන්ගේ සුදුසුකම් වලට වඩා අඩු හෝ ඊට කොහෙත්ම නොගැලපෙන රැකියාවක් කිරීමට සිදුවේ.
අනෙක් කරුණ නම් එවැනි සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ නිපුණතාවට සරිලන රැකියාවක් සොයාදීමට රජයේ කිසිදු ප්‍රධාන වැඩසටහනක් නොමැත.
එනිසා එවැනි සංක්‍රමණිකයින්ගෙන් ඔස්ට්‍රේලියානු රජය නියම ඵල නෙලා නොගන්නා ආකාරයක් පෙනී යයි.


