ලැව් ගිනි වලින් විපතට පත් ජනයා සඳහා ආහාර පාන සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා නොදෙන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews ඉල්ලීමක් කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ගින්නෙන් පීඩිත ජනයා හට උපකාර කිරීමට කැමති පුද්ගලයින් වෙතොත් ඔවුන් හට මුදල් ආධාර ලබාදෙන ලෙස ප්‍රාන්ත අගමැති Daniel Andrews දන්වා සිටියි.

ආහාර පාන සහ අනෙකුත් ද්‍රව්‍ය වෙනුවට මුදල්
මේ වන විට ඇති තත්ත්වයට අනුව පීඩාවට පත් ජනයාට ඇඳුම්, ආහාර, සහ අනෙකුත් ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට ලැබී ඇති බවත් එලෙස ලැබෙන වැඩිපුර ද්‍රව්‍ය ගබඩා කිරීමට ගබඩා පහසුකම් නොමැති බවත් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඉතා බරපතල අන්දමින් ව්‍යාප්ත වීමත් සමග එයින් විශාල ජන සංඛ්‍යාවක් විපතට පත්වූ අතර ඔවුන්ට උපකාර කිරීමට බොහෝ දෙනා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබුණි.
ඒ අනුව විවිධ ප්‍රජා කණ්ඩායම් තමන්ට හැකි අයුරින් පීඩිත ජනයාට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර ඒවා ප්‍රාන්ත රජයට සහ ආදාළ ආයතන වෙත බාරදීමට පියවර ගනිමින් සිටියි.
කෙසේනමුත් එලෙස උපකාර කිරීමට ඉදිරිපත් වූ සෑම අයෙකුටම ස්තුතිවන්ත වන අතරේ මෙතැන් පටන් මුල්‍යමය ආධාර පමණක් කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews දන්වා සිටියි.
ලැව් ගිනි වලින් පීඩිත ජනයාට උපකාර කළ හැකි මුල්‍ය අරමුදල්
වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි වලින් පීඩිත ජනයාට උපකාර කළ හැකි නව මුල්‍ය අරමුදලක් Victorian Bushfire Appeal නමින් පිහිටුවා ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
Bendigo Bank සහ The Salvation Army යන ආයතන එක්ව මෙම අරමුදල පිහිටුවා පවත්වාගෙන යන බව සඳහන්.
ඕනෑම Bendigo බැංකු ශාකාවකින් මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කළ හැකි බව ප්‍රාන්ත අගමැති Andrews පවසයි.
ඔස්ට්‍රේලියානු රංගන ශිල්පිනී Nicole Kidman, ඇමෙරිකානු ගායිකා Pink ඇතුළු කලාකරුවන් රැසක් ඔස්ට්‍රේලියාවේ ගිනි නිවන භටයින්ට මුල්‍ය පරිත්‍යාගයන් සිදු කර ඇතැයි වාර්තා වේ.
මේ අතර සුප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු විකට ශිල්පිනියක් වන Celeste Barber විසින් පිහිටුවනු ලැබූ අරමුදල මේ වන විට ඩොලර් මිලියන 25 දක්වා පැමිණ ඇති බව ද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ලැව් ගිනි අරමුදල් සඳහා වන වෙබ් යොමු
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ලැව් ගිනි අරමුදල් සඳහා වන වෙබ් යොමු පහත පරිදි වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි අරමුදල (VIC bushfire appeal)
https://www.vic.gov.au/bushfireappeal
වික්ටෝරියා ගිනි නිවීම් සේවාව
https://www.cfa.vic.gov.au/about/supporting-cfa#donate-cash
නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවාව
https://www.rfs.nsw.gov.au/news-and-media/general-news/how-you-can-help
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවන සේවාව
https://cfsfoundation.org.au/about/how-to-help/

වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි තත්ත්වය
වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව පවතින බව වාර්තා වේ.
මේ අතර අධික උෂ්ණත්වය පහව ගොස් ප්‍රාන්තය වෙත සෞම්‍ය කාලගුණයක් පැමිණීමත් සමග ලැව් ගිනි අවදානම පහළට ගොස් තිබේ.
ගිනිගත් ප්‍රදේශ වල දුම් සහිත පරිසරය නිසා ලැව් ගිනි හටගත් ප්‍රදේශ වල සිරවී සිටින ජනයාව බේරාගැනීම අභියෝගාත්මක ක්‍රියාවක් වී ඇතැයි ද වාර්තා වේ.
Gippsland කලාපයේ Mallacoota ප්‍රදේශය වෙත ගොස් සිටි පිරිසෙන් 61 දෙනෙකු ඊයේ (05/01) පෙරවරුවේ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වලට අයත් හෙලිකොප්ටර් වලින් පිටත්ව ගිය බවත් තවත් 350 ක පිරිසකට පිටව යාමට අවශ්‍ය බව පවසා ඇති බවත් වාර්තා වේ.
මේ අතර තවත් 400 ක් පමණ පිරිසක් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වල රැදී සිටින බවද සඳහන්.
ඊයේ පස්වරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ මිලියනයකට අධික භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව ප්‍රාන්තයේ හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Andrew Crisp තහවුරු කළේය.

කැන්බරා හා ඒ අවට පීඩාවට පත් ජනයාට සහය වීමේ අරමුණින් Facebook සමාජයක්
කැන්බරා හා ඒ අවට පීඩාවට පත් ජනයාව සම්බන්ධ කරගැනීමේ සහ ඔවුන්ට සහය වීමේ අරමුණින් කැන්බරා නුවර Facebook සමාජයක් පිහිටුවා තිබේ.
එලෙස ගින්නෙන් පීඩාවට පත් ජනයාට කැන්බරා ජනයා හට උපකාර කිරීමට පහත සඳහන් තුන් ආකාරයකින් හැකි බව ඔවුන් දන්වයි.
පුද්ගලයින් සහ සුරතල් සතුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම.
ආහාර, නැපී, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, baby wipes වැනි දේවල් පරිත්‍යාග කිරීම.
දිය නෑමට, ආහාර පාන ගැනීමට සහ රෙදි සෝදාගැනීමට පහසුකම් සපයමින් විවේක ගැනීමට ස්ථාන සැලසීම.
එම Facebook සමාජයට අදාළ වෙබ් යොමුවට මෙතනින් පිවිසිය හැකිය.


