ඔස්ට්‍රේලියාවේ මෙවර ලැව් ගිනි හටගැනීම සහ ඒවා පැතිරීම මෑත ඉතිහාසයේ අන් කෙදිනකටත් වඩා විශාල ලෙස වර්ධනය වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා, බටහිර ඔස්ට්‍රේලියා යන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 5 ක පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා තවමත් බරපතල අන්දමින් ලැව් ගිනි හටගනිමින් පවතී.

Source: Getty Images
මරණ 17 ක්, නිවාස 1400 ක් සහ හෙක්ටයාර මිලියන 5 ක භූමි ප්‍රමාණයක්
මෙවර ඔස්ට්‍රේලියාවේ ඇතිවී තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන්ව පවතී.
එමෙන්ම ලැව් ගිනි හේතුවෙන් නිවාස 1400 කට අධික සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී ඇති අතර හෙක්ටයාර 5 ක පමණ භූමි ප්‍රමාණයක් පිළිස්සී ඇති බව Daily Mail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදීන්ට අනුව සැප්තැම්බර් මාසයේ පටන් මේ දක්වා හටගත් ලැව් ගිනි නිසා මිලියන 500 ක පමණ සත්ත්ව ප්‍රජාවක් මරණයට පත්ව ඇත.
ඒ අතර ඔස්ට්‍රේලියවටම ආවේනික වූ කෝලාවරුන් 8,000 ක් සහ අනෙකුත් වර්ග වල ක්ෂීරපායීන්, උරගයින් සහ පක්ෂීන් සිටින බව වාර්තා වේ.
මෙවර ලැව් ගිනි වලින් බරපතලම හානිය සිදුවෙමින් පවතින්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ද නැගෙනහිර Gippsland ප්‍රදේශය ඇතුළු ඇතැම් ප්‍රාදේශීය කලාප වලට මේ වන විටත් දැඩි ලැව් ගිනි අවදානම් තත්ත්ව ඇතිවී තිබේ.

Source: AAP
සංචාරකයින්ට සහ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙසට නිවේදන
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල පාලනය කළ නොහැකි ලැව් ගිනි තත්ත්ව හේතුවෙන් අදාළ ප්‍රදේශ වල පදිංචිකරුවන්ට සහ එම කලාප වලට ගොස් සිටින සංචාරකයින්ට එම ස්ථාන වලින් වහාම ඉවත්වන ලෙස ප්‍රාන්ත බලධාරීහු දැනුම් දී ඇත.
වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර Gippsland ප්‍රදේශයේ Mallacoota හි පුද්ගලයින් 4000 ක් සමග පිටව යාමට නොහැකිව අතරමං වී ඇති අතර ඔවුන්ව එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට හෙලිකොප්ටර් වල සහය ලබා ගැනෙයි.
ඊයේ (02/01) රාත්‍රිය වන විට Batlow හි Snowy Valley නගරයේ සියලුම වැසියන්ට තම වාසස්ථාන වලින් පිටව යන ලෙසට නියෝග කෙරුණු අතර අද මධ්‍යහනය වන විට Dunns මාර්ගය දෙපසට විහිදෙන හෙක්ටයාර 130,000 ක පමණ භූමියක ලැව් ගිනි ඇවිලෙනු ඇතැයි විශ්වාස කරයි.
එමෙන්ම Khancoban, Greg Greg සහ Tooma යන ප්‍රදේශ වල ජනතාවටද සිය වාසස්ථාන වලින් පිටව යන ලෙසට නියෝග කර ඇති අතර එම ප්‍රදේශ වලට හෙට දිනයේදී දරුණු ලැව් ගිනි අවදානමක් ඇති බවට නිවේදනය කර ඇත.
මේ අතර තම නිවාඩුව ගත කිරීමට කඳු ප්‍රදේශ වලට සහ Nowra මෙන්ම නිව් සවුත් වේල්ස් - වික්ටෝරියා ප්‍රාන්ත සීමාවට ගොස් සිටින සියලුම සංචාරකයින්ට අද රාත්‍රිය වන විට නැවත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

Source: Twitter
දුරකථන, අන්තර්ජාල බිඳ වැටෙයි. ඉන්ධන ලබාගන්න දිගු පෝලිම්
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල ලැව් ගිනි හටගෙන ඇති ප්‍රදේශ වල සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී ඇති බව වාර්තා වේ.
ලැව් ගිනි නිසා ජලය පානය කිරීමේදී සැමවිටම උණුකර නිවාගෙන පානය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීහු ජනතාවට දැනුම් දී තිබේ.
එමෙන්ම දුරකථන සම්බන්ධතා මෙන්ම අන්තර්ජාල සම්බන්ධතා ද මෙම ලැව් ගිනි තත්ත්ව නිසා බිඳ වැටී ඇති බවත් බොහෝ පිරිස් වලට සන්නිවේදන පහසුකම් අහිමිවී ගොස් ඇති බවත් සඳහන්.
මේ අතර ලැව් ගිනි අවදානම් කලාප වලින් පිටව යාමට අදාළ ප්‍රදේශ වාසීන් සහ සංචාරකයින් ලහි ලහියේ උත්සුක වීම නිසා ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව දිගු වාහන පෝලිම් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

Source: Getty Images
වික්ටෝරියානු ප්‍රාන්තයට විශේෂ ආපදා තත්ත්වයක්
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල ඇතිවී ඇති දරුණු ගනයේ ලැව් ගිනි හේතුවෙන් State of Disaster හෙවත් ප්‍රාන්තය පුරා විශේෂ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයට මෙවැනි අයුරින් විශේෂ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 11 කට පමණ පසු වීමද විශේෂත්වයකි.
2009 පෙබරවාරි 07 වන දින වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතිවූ ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි සිදුවීම වන කළු සෙනසුරාදා සිදුවීමේදී අවසන් වරට මෙම ආකාරයේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ලැව් ගිනි තර්ජනයට මුහුණ දී ඇති සියලුම වැසියන් වහාම තම වාසස්ථාන වලින් පිටත්ව ආරක්ෂක ස්ථාන කරා ගමන් කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
ප්‍රාන්තයේ ඇතිවී ඇති සියලුම ලැව් ගිනි නවත්වා දැමීමට මේ වන විට ප්‍රාන්තය සතුව සම්පත් නොමැති බවත් එනිසා තමන්ට පිටව යන ලෙස නිවේදන ලැබුණහොත් ඒවාට අනුගතව කටයුතු කරන ලෙසත් ඔහු දැනුම් දෙයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රකාශයට පත් කර ඇති විශේෂ ආපදා තත්ත්වය නිසා ප්‍රාන්ත රජයට වෙනදාට වඩා වැඩි බලයක් ලැබී ඇති බවත් එම බලය සියලුම ප්‍රජාවන්ගේ ආරක්ෂාව සඳහා යොදවන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පොලිස් කටයුතු අමාත්‍යවරිය වන Lisa Neville පවසයි.

Source: AAP
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් සමග Total fire ban තත්ත්වයක්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ලැව් ගිනි තත්ත්ව නිසා ප්‍රාන්තය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.
එමෙන්ම අද පටන් දින දෙකක් යන තුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා Total fire ban තත්ත්වයක් ද ප්‍රකාශ කර ඇත.
ප්‍රාන්තයේ බොහෝ කලාප වල උෂ්ණත්වය අද (03/01) සහ හෙට දින වල දැඩි ලෙස ඉහළ යන බැවින් ලැව් ගිනි අවදානම් සහිත ප්‍රදේශ වල වෙසෙන ජනතාව සහ සංචාරකයින් වහාම එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දැනුම් දෙයි.
අද සහ හෙට දින වල ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවත් සුළගේ වේගය පැයට කිලෝ මීටර් 60 පමණ වනු ඇති බවත් පැවසේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ලැව් ගිනි තත්ත්ව සහ ලැව් ගිනි නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුවදුක් බැලීම සඳහා අගමැති Scott Morrison ඊයේ හදිසි සංචාරයක නිරත විය.
එහිදී ලැව් ගිනි නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් අගමැති මොරිසන් හට දැඩි වාග් ප්‍රහාර එල්ල විය.
එම ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් දෙදනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම වැසියන්ට තම නිවෙස්, ව්‍යාපාර සහ සතුන් අහිමිවී ගොස් ඇත.
Cobargo හි Bega Valley ප්‍රදේශයේ මෙලෙස අගමැති මොරිසන් සංචාරය කළ අවස්ථාවේ සිඩ්නි නුවරට සාපේක්ෂව තම කලාපයට සැමවිටම කුඩම්මාගේ සැලකිලි හිමිවන බවට පදිංචිකරුවන් අගමැතිවරයාට චෝදනා කළේය.
මේ අතර ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ආරක්ෂාව උදෙසා මේ සම්බන්ධව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග තමන් වහාම ගන්නා බව එහිදී අගමැති මොරිසන් පැවසුවේය.

Source: SBS Sinhala