ලොව වැඩිම අවන්හල් නිවහන සපයන සහ ලොව ජීවත්වීමට දෙවැනියට සුදුසුම නගරය ලෙස මෙවරත් කිරුළු පැළඳි මෙල්බර්න් නුවර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළෙඳ නගරයට දෙවැනි වන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නගර, නාගරික යටිතල පහසුකම් සහ ජනගහනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අමාත්‍ය Alan Tudge මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙල්බර්න් වසර 10 ක් පිටුපසින්
ප්‍රාන්ත වාසීන්ට නව යටිතල පහසුකම් ඉදිකිරීම හා සංවර්ධනය කිරීම අතින් මෙල්බර්න් නුවරට වඩා සිඩ්නි නුවර ඉදිරියෙන් සිටින බව නගර, නාගරික යටිතල පහසුකම් සහ ජනගහනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අමාත්‍ය Alan Tudge පසුගියදා සිඩ්නි නුවර පැවති ජනගහන සමුළුවේදී පැවසීය.
විශේෂයෙන්ම නව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම අතින් මෙල්බර්න් නුවර පිටුපසින් සිටින බව ඔහු එහිදී සඳහන් කළේය.
මෙල්බර්න් නුවර ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන ජනගහනයට සාපේක්ෂව එහි යටිතල පහසුකම් වල වර්ධනය පහළ මට්ටමක පවතින බව ද එම සමුළුවේදී සඳහන් වූ බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට අමතරව ආර්ථික චක්‍රය අතින්ද මෙල්බර්න් නුවර සිඩ්නි නුවරට වඩා පිටුපසින් සිටින බව එම සමුළුවේදී ප්‍රකාශ කෙරිණි.
මෙල්බර්න් නුවර ආර්ථිකය එහි CBD හෙවත් මෙල්බර්න් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයට පමණක් සීමාවී ඇති නමුත් සිඩ්නි නුවර එය කලාපය පුරාවටම විහිදුවමින් සිටින බව සඳහන්.

සිඩ්නි නුවර ඉදිරියෙන්
මේ වන විට සිඩ්නි නුවර ජනගහනය මිලියන 5.2 ක් පමණ වන අතර එය මෙල්බර්න් වලට වඩා 250,000 පමණ ඉදිරියෙන් සිටීමකි.
නමුත් ජනගහන වර්ධන වේගය මෙල්බර්න් නුවර 2.2% ක් වන අතර සිඩ්නි නුවර 1.8% කි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ශීග්‍රජනගහන් වර්ධනයක් සිදුවන ප්‍රධානතම නගරය ලෙස මෙල්බර්න් නුවර හැඳින්වේ.
වසර 2030 වන විට ජනගහනය අතින් සිඩ්නි නුවර පරයා මෙල්බර්න් නුවර ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ කර ඇත.
West Connex motorway, Sydney Metro north west සහ Sydney CBD light rail යන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති මේ වන විට සිඩ්නි නුවර දියත් කර තිබේ.
එමෙන්ම තවත් ව්‍යාපෘති සිඩ්නි කලාපයේ ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඒ අතින් බලන කල සිඩ්නි නුවරට සාපේක්ෂව මෙල්බර්න් නුවර වසර 10 කින් පමණ පිටුපසින් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අමාත්‍ය Alan Tudge පැවසීය.

පටු දේශපාලන කතාවක්
මෙල්බර්න් නුවර යටිතල පහසුකම් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අමාත්‍ය Alan Tudge ගේ ප්‍රකාශ පටු දේශපාලනය අරමුණු කරගත් කතාවක් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් ඇමතිනිය වන Jacinta Allan චෝදනා කරයි.
ඩොලර් බිලියන 11 ක ආර්ථික පිරිවැයක් යොදා ආරම්භ කළ මෙල්බර්න් මෙට්‍රෝ දුම්රිය උමං ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එය වසර 2025 දී විවෘත කිරීමට නියමිත බව ඇය පැහැදිලි කළාය.
එමෙන්ම මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදික්රීමේ ව්‍යාපෘතිය සහ මෙල්බර්න් අවට උප නගර යා කරමින් ඉදිකිරීමට නියමිත නව දුම්රිය පද්ධතිය මෙල්බර්න් කලාපයේ තවත් දැවැන්ත ව්‍යාපෘති දෙකක් බවද ඇය පෙන්වා දුන්නාය.
ඊට අමතරව North East Link, සහ West Gate Tunnel යන ව්‍යාපෘතිද මෙල්බර්න් නුවර ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත යටිතල පහසුකම් ව්‍යාපෘති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් ඇමතිනිය වන Jacinta Allan පැවසුවාය.


