ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට සාර්ථකව මුහුණ දීමට නම් සෑම පස් වසරකට වරක්ම විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 200 බැගින් ආයෝජනය කළ යුතු බවට අනතුරු ඇඟවීමක් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් පිළිබඳ පර්යේෂණ හා නිර්දේශ සපයන ස්වාධීන ආයතනයක් වන Infrastructure Australia විසින් මෙම තොරතුරු හෙළිකර තිබේ.

ජනගහන වර්ධනයට සමගාමීව යටිතල පහසුකම් වර්ධනය
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට සමගාමීව ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආර්ථික ඵලදායීතාවය නගා සිටුවීම උදෙසා මහා මාර්ග, පොදු ප්‍රවාහන සේවා, පාසල්, ජල සැපයුම්, විදුලිය හා සෞඛ්‍ය සේවා වැනි මූලික සේවාවන් සඳහා සැලකිය යුතු ලෙස ආයෝජනය කළ යුතු බව Infrastructure Australia ආයතනය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පිහිටි මාර්ග වල ඇති අධික වාහන තදබදය සහ පොදු ප්‍රවාහන සේවා වල සෙනග පිරී පැවතීම වැනි සාධක දිළිඳු යටිතල පහසුකම් වල බලපෑම් සඳහා කදිම නිදසුන් බව ද Infrastructure Australia ආයතනය පෙන්වා දෙයි.
2019 වසරේ ඔස්ට්‍රේලියානු යටිතල පහසුකම් පිළිබඳ විගණන වාර්තාව එළිදක්වමින් පසුගිය සතියේ මේ බව හෙළි කෙරිණි.
මේ වන විට මෙම තදබදය නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 19 ක පාඩුවක් සිදුවන බව සඳහන්.
කෙසේනමුත්, යටිතල පහසුකම් වර්ධනය සඳහා අලුතින් ආයෝජනය නොකළහොත් එම පාඩුව වසර 2031 වන විට ඩොලර් බිලියන 40 ක් පමණ වනු ඇතැයි එම විගණන වාර්තාව අනතුරු අඟවයි.
පියවි ඇසට පැහැදිලිව නොපෙනුනත් රෝහල් සහ පාසල් ගොඩනැගිලි පැරණි වෙමින් පවතින බවත් ඒවා නියමිත ධාරිතාව ඉක්මවා යමින් සිටින බවත් වාර්තා වේ.
එමෙන්ම උද්‍යාන වල අධික තදබදයක් ඇති බවත් ජලය ගෙන යන නල පද්ධතිය යල් පනිමින් පවතින බවත් එම වාර්තාව වැඩි දුරටත් පවසයි.

ජනගහන වර්ධනයට සංක්‍රමණිකයින් ප්‍රධාන හේතුවක්
ඔස්ට්‍රේලියාවේ ජනගනය සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයකින් වර්ධනය වීමට ප්‍රධානතම සාධකය සංක්‍රමණිකයින් බව 2019 වසරේ ඔස්ට්‍රේලියානු යටිතල පහසුකම් පිළිබඳ විගණන වාර්තාව පෙන්වා දෙයි.
මේ නිසාම ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 30,000 කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළ අතර එය මෙම මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ කෙරිණි.
ඒ අනුව මීට පෙර 190,000 ක්ව පැවති ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව මේ වසරේ සිට 160,000 දක්වා කප්පාදු කර ඇත.
මෙම කෝටාව මෙලෙස කප්පාදු කළද ඔස්ට්‍රේලියාවේ තාවාකාලික වීසා හිමියන්ගේ සංඛ්‍යාව කෙමෙන් වැඩිවන බවද වාර්තා වේ.

යටිතල පහසුකම් ගෙදර දොරට බලපාන අයුරු
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය පවුලක ගෙදර දොරේ වියදම් සඳහා යටිතල පහසුකම් සතියකට $314 ක බලපෑමක් සිදුකරන බව වාර්තා වේ.
ජීවන වියදම සැලකීමේදී වියදම් අධිකම වන්නේ විදුලිය බිල් සඳහා බවට ජනතාව සිතා සිටියත් සත්‍ය එය නොවන බව මින් පැහැදිලි වෙයි.
සාමාන්‍ය නිවසකට සතියක බලශක්ති වියදම ඩොලර් 41 ක් පමණ වන බවත් ජල ගාස්තු ඩොලර් 23ක් පමණ වන බවත් දුරකතන හා අනත්රජාල ගාස්තු ඩොලර් 45 ක් පමණ වන බවත් එම වාර්තාව පවසයි.
එනිසාම සැලසුම් සහගතව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජන යෙදවිය යුතු බවට Infrastructure Australia ආයතනය අවධාරණය කරයි.


