ඔස්ට්‍රේලියාවේ නව regional visa හෙවත් නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩ ද්විත්වය එළඹෙන නොවැම්බර් 16 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් ප්‍රධාන නගර වලින් බැහැර කර ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීම උනන්දු කරවීම මෙහි මූලික අරමුණ වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නව සැලැස්ම හරහා ප්‍රාදේශීය කලාප වලට සංක්‍රමණිකයින්ව යොමු කරවීමට පිටිවහලක් සැපයේද නැතිනම් ප්‍රාදේශීය කලාප වලට සංක්‍රමණිකයින් යාම දුර්වල වේද යන්න මහත් ගැටළුවක් බවට මේ වන විට පත්ව ඇත.

Source: Pixabay
සෙනට් විමර්ශනයක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය වීමේදී සංක්‍රමණිකයින්ට මුහුණ පෑමට සිදුවන අභියෝග සහ ගැටළු පිළිබඳ එම කලාප වල සිටින ව්‍යාපාරික සහ ප්‍රජා කණ්ඩායම් විසින් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.
මේ පිළිබඳ පැවැත්වෙන සෙනට් විමර්ශනයට ද එම තොරතුරු ඉදිරිපත් කර ඇති වාර්තා වේ.
එළඹෙන නොවැම්බර් 16 සිට ආරම්භ වන නව ප්‍රාදේශීය වීසා ක්‍රමය හරහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට සංක්‍රමණිකයින්ව යොමු කර ඒ කලාප වල ආර්ථිකය සංවර්ධනය කිරීම මධ්‍යම රජයේ මූලික අභිප්‍රාය වී ඇත.
මෙම වැඩපිළිවෙල සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ Rural Councils of Victoria ආයතනය සිය කැමැත්ත සහ සහයෝගය එකහෙළා ප්‍රකාශ කර තිබේ.
Rural Councils of Victoria ආයතනය වික්ටෝරියා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 37 ක් නියෝජනය කරයි.
ප්‍රාදේශීය කලාප වල එක තැන පල් වෙන ජනගහනය හේතුවෙන් එම කලාප වල ආර්ථිකය වර්ධනය කිරීමට එය විශාල තර්ජනයක් බව Rural Councils of Victoria ආයතනය සෙනට් විමර්ශන කමිටුවට දන්වා තිබේ.
නමුත් සංක්‍රමණිකයින්ව මෙම ප්‍රාදේශීය කලාප වලට ආකර්ෂණය කරගන්නේ කුමන ආකාරයෙන්ද යන්න ප්‍රශ්නයක් වී ඇතැයි Rural Councils of Victoria ආයතනයේ සභාපතිනී Mary-Ann Brown, SBS පුවත් සේවයට පැවසුවාය.

Source: SBS
23,000 ක කෝටාවක්
නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන 491 සහ 494 යන නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහා 23,000 ක කෝටාවක් මොරිසන් රජය ප්‍රකාශ කර තිබේ.
මෙම නව වීසා ලාභීන්ට වසර 5 ක රැකියා වීසාවක් ලැබෙන අතර ඔවුන් ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් එම කලාප වලම රැකියා කළ යුතු වේ.
එසේ වසර තුනක් නොකඩවා ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් එම කලාප වලම පූර්ණ කාලීනව රැකියා කළහොත් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි භාවයට ද අයදුම් කළ හැකිවේ.

V/Line Train, Victoria, Australia Source: Flickr
ප්‍රාදේශීය කලාප වලට යන සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියානු රජයෙන් පොරොන්දුවක්
සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල දීර්ග කාලීනව ස්ථාපනය වීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අපේක්ෂාව බව මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman, SBS පුවත් වෙත පැවසුවේය.
එහිදී ප්‍රධාන නගර වල වෙසෙන ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණික ප්‍රජාවට සාපේක්ෂව ප්‍රාදේශීය කලාප වල වෙසෙන සංක්‍රමණිකයින්ට අවාසියක් නොවන ආකාරයෙන් කටයුතු සකස් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බවද ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව ප්‍රාදේශීය කලාප වෙත යොමුවන සංක්‍රමණිකයින්ට අවශ්‍ය පහසුකම් සහ සහය ලබා දීමට මධ්‍යම රජය කටයුතු කරන බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසුවේය.

Minister for Immigration David Coleman Source: AAP
ප්‍රාදේශීය කලාප වල රැකියා සොයාගැනීම විශාල අභියෝගයක්
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම නව ප්‍රාදේශීය වීසා වැඩසටහන ගැටළුසහගත බව ඔස්ට්‍රේලියානු වානිජ මණ්ඩලය සෙනට් විමර්ශන කමිටුවට දන්වා තිබේ.
ඔස්ට්‍රේලියාව ප්‍රමාණයෙන් විශාල රටක් වුවද අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් හට රැකියා සොයාගැනීම විශාල අභියෝගයක් වී ඇතැයි ඔවුන් පවසා ඇත.
මේ තත්ත්වය ප්‍රාදේශීය කලාප වල තවත් උග්‍ර බවද සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් බොහෝ සංක්‍රමණිකයින් ප්‍රාදේශීය කලාප වෙත යාමට පසුබසින බවත් ඔවුන් එහිදී වාර්තා කර ඇත.

Regional workers pick fruit on a farm. Source: AAP
ප්‍රාදේශීය කලාප වල ඇති රැකියා පිළිබඳ අර්බුදය නිසා නිපුණතා සංක්‍රමණිකයින් වෙනත් වීසා ඛාණ්ඩ සහ සංක්‍රමණික වැඩසටහන් ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ස්ථාපනය වීමට මාන බලමින් සිටින බවද ඔස්ට්‍රේලියානු වානිජ මණ්ඩලය සෙනට් විමර්ශන කමිටුවට වැඩි දුරටත් දන්වා තිබේ.

Source: SBS Sinhala